දෙබර රැජනක් යුරෝපය වටලයි

The hornet species known colloquially as 'murder hornet' and 'Asian giant hornet' will now be know as the Northern giant hornet. (Courtesy of WSDA)

සත්ත්ව හෝ ශාක හෝ වේවා ආක්‍රමණශීලී ජීව විශේෂවලට පෙර අත්දැකීමක් නොමැති වෙනස් ජෛව පද්ධතිවල පවා සාර්ථක ලෙස ව්‍යාප්ත වීමේ හැකියාව පවතිනවා. 

𝑽𝒆𝒔𝒑𝒂 𝒗𝒆𝒍𝒖𝒕𝒊𝒏𝒂 ලෙස හැඳින්වෙන ආසියානු දෙබරා (Asian Hornet) ද එවැන්නෙක්. ගොදුරු සොයමින් ඔවුන් වසරකට කිලෝමීටර 80ක පමණ වපසරියක සැරිසරනවා. ‘ඝාතක දෙබරා’ (Murder hornets) ලෙස හැඳින්වෙන ආසියානු යෝධ දෙබර වි⁣ශේෂය ආසියාතික රටවල මුල පටන් සිටියත් යුරෝපයට සංක්‍රමණය වී ඇත්තේ අදින් වසර විස්සකට පමණ පෙරයි. 2016 දී ඔවුන් එක්සත් රාජධානියෙන් පළමු වරට සොයා ගැනුණා. යුරෝපය පුරා ඔවුන්ගේ ව්‍යාප්ති⁣යේ මූල බීජය වූයේ 2004 වසරේ චීනයේ සිට ප්‍රංශයට පැමිණි එක් දෙබරෙකු බව සොයාගෙන තිබෙනවා.

අයර්ලන්තයේ Cork විශ්වවිද්‍යාල කොලීජියේ සත්ත්වවිද්‍යාඥ (zoologist) Eileen Dillane සහ ඇගේ කණ්ඩායම 2021 වසරේ අප්‍රේල් දී අයර්ලන්තයට මුලින් ම පැමිණි ආසියානු දෙබර රංචුව පිළිබඳ අධ්‍යයනයේ නිරත වුණා. ඒ ඔවුන් තුළ ඇති ජාන තුනක් ගැන වැඩි අවධානයක් දෙමින්. එම ජාන තුන යුරෝපානු ප්‍රධාන භූමි ස්කන්ධය මත සිටින දෙබරුන් සමග සසඳනු ලැබුණා. මේ මයිටොකොන්ඩ්‍රීය ජාන තුන ම පැවත ආවේ ගැහැණු සතෙකුගෙන්. 

“පෙර එක් ජානයක් සන්සන්දනය කරමින් කළ අධ්‍යයනයන් මගින් යුරෝපයේ වෙසෙන ආසියානු දෙබරුන් එක ම ජාන පෙළපතක් දරන බව සොයාගෙන තිබුණා. නමුත් අපි පියවරක් ඉදිරියට තබා ආක්‍රමණික ගහනය අතර තවත් අනු විභේදන තිබේදැයි සොයාගත හැකි පරිදි වඩාත් සංවේදී ජාන දෙකකුත් පරික්ෂා කර බැලුවා.” එලීන් පවසනවා.

“අපට එහි දී පෙනී ගියේ යුරෝපයේ සිටින මිලියන ගණනින් යුතු 𝑽. 𝒗𝒆𝒍𝒖𝒕𝒊𝒏𝒂 ගහනය මුළුමනින් ම පැවත එන්නේ අදින් වසර 15ත්, 20ත් අතර කාලය තුළ චීනයේ සිට පැමිණි එක් ගැබ්බර රැජනක⁣න් බවයි.” පර්යේෂණ වාර්තාවේ දැක්වෙනවා.

ආසියානු දෙබරා, යුරෝපීය දෙබරාට වඩා තරමක් ආවේගශීලීයි. ජාන විවිධත්වය මඳ වීම නිසා ම ජෛවීය වශයෙන් ම ඔවුන්ගේ ගහනය පාලනය වීමට ද ඉඩක් තිබෙන බවත් පර්යේකයන් පෙන්වා දෙනවා. 

කෙසේ නමුත් සිදුවෙමින් පවතින දේශගුණික විර්යාසයන් හේතුවෙන් මෙවැනි ආක්‍රමණශීලී ජීවි ව්‍යාප්තීන් වැඩි වශයෙන් සිදුවිය හැකි බවයි ඔවුන් පවසන්නේ. 

Science Alert ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි 

Related posts

3I/ ATLAS සම්භවය සිදු වූ ඉසව්ව ගැන අලුත් අධ්‍යයනයක්

සාගරය හරහා ඉදිකෙරෙන යෝජිත දැවැන්ත වේල්ලෙන් AMOC බේරාගත හැකි ද?

ක්‍රිටේසීය අවධියේ සාගරවල විසූ යෝධ බූවල්ලන්