එකම දවසේ හඳේ දක්ෂිණ ධ්‍රැවය අල්ලන්නට දෙරටක් තරගයේ

මෙතෙක් ලොව කිසි ම රටක් අභ්‍යවකාශ යානයක් ගොඩ බස්වා නැති චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය වෙත එක ම දිනයේ ළඟා වීමට රුසියාව සහ ඉන්දියාව විසින් අභ්‍යවකාශ යානා දෙකක් ගුවන්ගත කරනු ලැබ තිබෙනවා.

චන්ද්‍ර දක්ෂිණ ධ්‍රැවය මත ගොඩ බැසීමේ ඉලක්ක දිනය වන්නේ ලබන අගෝස්තු 23 වැනි බදාදාවයි.

මේ අරමුණින් ඉන්දියාව විසින් චන්ද්‍රයාන් – 3 අභ්‍යවකාශ යානය ගුවන්ගත කළේ පසුගිය ජූලි මස 14 වැනි සිකුරාදා දිනයේ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රීහරිකෝටාහි පිහිටි සතිෂ් ධාවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන්.

එහෙත් එදා සෝවියට් සංගමයේ කොටසක් ලෙසින් 1976 වසරේ දී චන්ද්‍රයා වෙත යැවූ ලූනා – 24 අභ්‍යවකාශ යානයෙන් පසු මෙවර දශක දෙකකට වැඩි කලක ඇවෑමෙන් රුසියාව විසින් ලූනා – 25 යානය පසුගිය අගෝස්තු 11 වැනි සිකුරාදා දිනයේ ගුවන්ගත කරනු ලැබුවා.
රුසියාවේ රොස්කොස්මොස් අභ්‍යවකාශ ඒජන්සිය විසින් සෝයුස් 2.1b රොකටයක ආධාරයෙන් ලූනා – 25 යානය ගුවනට යැවූයේ වොස්ටොක්නි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන්.

රුසියානු ලූනා – 25 යානය දින 5.5 ක කාලයකින් චන්ද්‍රයාට සමීප වීමට නියමිත අතර එතැන් සිට දින 3 සිට 7 දක්වා කාලයක් චන්ද්‍රයාට කිලෝ මීටර් 100 ක දුරකින් යුක්ත ව කක්ෂගත වීමට නියමිත ව තිබෙනවා. අනතුරුව අගෝස්තු මස 23 වැනි දා චන්ද්‍ර දක්ෂිණ ධ්‍රැවය මත එය ගොඩ බැසීමට අපේක්ෂා කරනවා.

මීට පෙර 2019 වසරේ දී චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය මත අභ්‍යවකශ යානයක් ගොඩබැස්වීමට ඉන්දියාව ගත් උත්සාහය අසාර්ථක වූයේ එය චන්ද්‍රයා මතට කඩා වැදීම නිසයි.

චන්ද්‍රයා මත මෙතෙක් සාර්ථක ව යානා ගොඩබැස්වීම් සිදුකර තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය, සෝවියට් සංගමය සහ චීනය පමණයි.

ලබන අගෝස්තු 23 වැනි දිනයේ චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය මත සාර්ථක ගොඩ බැසීමක් පළමු වරට සිදු කිරීමේ ජයග්‍රහණය ලබන්නේ ඉන්දියාව ද නැතිනම් රුසියාව විසින් දැ යි දැන් ලොව පුරා අවධානය යොමු වී තිබෙනවා.

Daily Mail සහ The Times of India ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Related posts

NASA ආයතනයේ X-59 ගුවන් යානය පළමු වරට ශබ්දයේ වේගය අභිබවා යයි

බ්‍රිතාන්‍යය 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරයි

ගෝලීය භූගත දිලීර ජාලයේ සිතියමක් එළිදැක්වේ