මෙටා යථා තත්ත්වයට

Facebook, Instagram සහ Massenger යෙදවුම්වල ක්‍රියාකාරිත්ව ඇණහිටීම යළි යථා තත්ත්වයට පත් කිරීමට Meta මව් සමාගම කටයුතු කර තිබෙනවා. අද (05) පස්වරු 08:30ට පමණ ආරම්භ වූ මෙම සේවා බිඳ වැටීම් මාලාව හේතුවෙන් ශ්‍රී ලංකාව ද ඇතුළු ව ලොව පුරා පරිශීලකයන් හට සිය Meta ගිණුම් වෙත පිවිසීම අවහිර වී තිබුණා.

සැසිය කල් ඉකුත් වී ඇති බැවින් පරිශීලක ගිණුම්වලින් Log out වන ලෙස දන්වා “පොප්අප්” නිවේදනයක් දිස් වී, ඊට අනුගත ව යළි Log in වීම සඳහා මුරපදය යෙදුවත් සිය ගිණුම් වෙත ප්‍රවේශ වීම අවහිර වී තිබෙනවා.

මෙම සිදු වීමත් සමගින් ලොව පුරා Meta යෙදවුම් පරිශීලකයන් තම ගිණුම් හැක් කිරීමකට ලක් ව ඇතැ යි අනිසි බියකට පත් ව තිබුණා.

උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ සමාගම දැනුවත් බවත්, එය පිළිසකර කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවත් Meta මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩි ස්ටෝන් X (පෙර Twitter) ඔස්සේ සටහනක් තමින් පවසා සිටියා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10:00 පමණ වන විට යළිත් Facebook, Instagram සහ Massenger යථා තත්ත්වයට ගැනීමට Meta සමාගම සමත් වී තිබුණා.

ඊලෝන් මස්ක්ට අයත් Xහි මේ වන විට වැඩි වශයෙන් කතාවට බඳුන් මාතෘකාව බවට මෙය පත් ව තිබෙනවා.

සත්‍ය හෙට්ටිආරච්චි 

Related posts

සඳ මත භූගත ගුහා සොයන NASA ආයතනයේ නවතම මෙහෙයුම

න්‍යෂ්ටික යුද්ධ සහ කෘත්‍රිම බුද්ධියේ අනිසි භාවිතය නිසා 2100 වන විට මානව වර්ගයා නෂ්ට වීමට ඉඩ ඇති බවට අනතුරු ඇඟවීමක්

මිනිසා සඳට ගෙනයාමට මෘදුකාංග තැනූ මාග්‍රට් හැමිල්ටන් අභාවප්‍රාප්ත වෙයි