වසර 2200ක් පැරැණි චීන සුසාන භූමියකින් පුරාවස්තු ගණනාවක් සොයාගැනේ

වසර 2,200කට ඉහත චීනයේ පැවති ‘සටන් ප්‍රාන්ත යුගය’ හෙවත් Warring States යුගයට අයත් සොහොන් ගර්භ සිය ගණනක් මතු කර ගැනීමට චීන පුරාවිද්‍යාඥයන් සමත් වී සිටිනවා. ඒවා තුළ තිබී අස්ථි කොටස් මෙන් ම ලෝකඩවලින් කළ අසිපත් ද හමු වී තිබෙනවා.

පුරාවිද්‍යාත්මක වස්තූන් රැසක් සඟවාගෙන සිටි මේ සොහොන් ගර්භ පිහිටා ඇත්තේ චීනයේ මධ්‍යම හුබෙයි පළාතේ ශියැන්යැංග් නගරයේ පිහිටි ඩෙංචෙංග් නමැති ගම්මානයේ යි. Baizhuang නම් සුසාන භූමියට අයත් වපසරිය තුළ ඒවා පැතිරී තිබුණා.

චීන පුරාවිද්‍යාඥයන් කළ ප්‍රකාශවලට අනුව 2023 නොවැම්බර් මස දී මෙහි සිදු කළ කැණීම්වලින් සංස්කෘතික වස්තූන් 500කට අධික ප්‍රමාණයක් නිරාවරණය කරගන්නට හැකි වී තිබෙනවා. කඩු, තඹවලින් කළ තෙපා, ඇදහිලි සඳහා යොදා ගත් භාජන, මැටි භාජන, ජේඩ් මුදු, ලාක්ෂා භාණ්ඩ, බෝට්ටු මෙන් ම දෝලාවක් ද මෙහි තිබී ගොඩ ගෙන තිබෙනවා. මේ සියල්ල වළදමා තිබුණේ අශ්වයන් දෙදෙනෙකුගේ සිරුරුවලට දෙපසින්.

ක්‍රිස්තු පූර්ව 478 – 221 දක්වා කාලයට අයත් වන සොහොන් වළවල් 174කින් පුරාවස්තු හෙළි කර ගැනීමට පුරාවිද්‍යාඥයන් මෙහි දී සමත් ව තිබුණා. ඒ අතර තිබී ක්‍රිස්තු පූර්ව 206 – ක්‍රිස්තු වර්ෂ 220 කාල පරාසය තුළ පැවැති හන් අධිරාජ්‍යයට අයත් සොහොන් වළවල් දෙකක් ද තිබුණා.

ශියැංයැන්ග් නගරය අතීතයේ දී බලවත් ප්‍රාන්තයක් වූ චු (Chu) ප්‍රාන්තයට අයත් ව තිබූ බව හෙළි වී තිබෙනවා. මේ සොයාගැනීමෙන් එම යුගය පිළිබඳවත්, චු ප්‍රාන්තය පිළිබඳවත් වැඩිදුර තොරතුරු අනාවරණ කරගත හැකි වනු ඇතැ යි චීන පුරාවිද්‍යාඥයන් බලාපොරොත්තු වනවා.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Related posts

අඳුරු ශක්තියේ අබිරහස විසඳීමට මුල් විශ්වයේ ඇති හයිඩ්‍රජන් ආලෝකය උපකාරී වෙයි

සඳ මත භූගත ගුහා සොයන NASA ආයතනයේ නවතම මෙහෙයුම

න්‍යෂ්ටික යුද්ධ සහ කෘත්‍රිම බුද්ධියේ අනිසි භාවිතය නිසා 2100 වන විට මානව වර්ගයා නෂ්ට වීමට ඉඩ ඇති බවට අනතුරු ඇඟවීමක්