Telegram ප්‍රධානී පවෙල් දුරොෆ් අත්අඩංගුවට

ජනප්‍රිය පණිවිඩ හුවමාරු මෘදුකාංගයක් වන Telegram හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරියා වන පවෙල් දුරොෆ් (Pavel Durov) ප්‍රංශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුසියානු සම්භවයක් ඇති ප්‍රංශ ජාතිකයෙකු වන දුරොෆ් මෙලෙස අත්අඩංගුවට පත් ව ඇත්තේ ඊයේ (24) සිය පෞද්ගලික ගුවන් යානයෙන් පැරිස් නගරයට යාබද Bourget ගුවන්තොටුපළට පැමිණ ඇති මොහොතකයි. ප්‍රංශ පොලිසිය විසින් සිදු කරනු ලබන විමර්ශනයකට සමගාමී ව නිකුත් කෙරුණු වරෙන්තුවකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රංශ මාධ්‍ය සඳහන් කරන පරිදි Telegram හි නියාමනය නිසි පරිදි පවත්වාගෙන නො යෑමත්, එවැනි පසුබිමක් තුළ ඒ ඔස්සේ විවිධ අපරාධමය කටයුතු සිදු වීමට ඉඩ හැරීමත් මේ විමර්ශනයට හේතුව වී තිබෙනවා. ඔහු අද දින (25) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

බිලියනයකට ආසන්න පරිශීලක සංඛ්‍යාවක් සිටින Telegram රුසියාව, යුක්‍රේනය මෙන් ම පැරැණි සෝවියට් රුසියාවට අයත් රටවල අතිශය ජනප්‍රිය පණිවිඩ හුවමාරු මෘදුකාංගයක් බවට පත් ව තිබෙනවා. Facebook, YouTube, WhatsApp, Instagram, Tik Tok සහ Wechat යන සමාජ ජාලවලට පසු වැඩි ම ජනප්‍රියත්වයක් ඇති සමාජ ජාල වේදිකාව වන්නේ ද Telegram.

රොයිටර් පුවත් සේවය ඇසුරෙනි.

Related posts

රූබි සහ නිල් මැණික් වැසි වැටෙන බහිර් ග්‍රහලෝකය: WASP-121b

NASA ආයතනයේ X-59 ගුවන් යානය පළමු වරට ශබ්දයේ වේගය අභිබවා යයි

බ්‍රිතාන්‍යය 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරයි