ඇමතුමකින් පසු ජංගම දුරකථන පුපුරා යන බවට පළ වන කටකතා අසත්‍යයි

එක්තරා ඇමතුමක් පිළිගැනීමෙන් පසු ජංගම දුරකථනය පිපරී යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන පුවත අසත්‍යයක් බව SLCERT (Sri Lanka Computer Emergency Readiness Team) ආයතනය නිවේදනය කරනවා. SLCERTහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොළ සඳහන් කරන්නේ මෙහි සත්‍යාසත්‍යතාව විමසමින් පාර්ශ්ව ගණනාවක ඇමතුම් ලැබී ඇති බවයි. ඒ අනුව එම පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ඒ මහතා සඳහන් කරනවා.

පසුගිය දින කිහිපයේ WhatsApp මඟින් වේගයෙන් පැතිර ගිය මෙකී වීඩියෝ පණිවුඩයෙන් කියැවුණේ අංක 13න් හෝ 4න් ආරම්භ වන දුරකථන අංකයකින් එන ඇමතුම් කිසිදු අයුරකින් පිළිනොගන්නා ලෙසයි. යම් හෙයකින් ඇමතුම පිළිගෙන ප්‍රතිචාර දැක්වීම සඳහා ජංගම දුරකථනය හිසට ළං කළ වහා ම එය පිපිරී යන බවත් සිංගප්පූරුවේ සහ ඉන්දියාවේ බොහෝ පිරිසක් මේ ආකාරයේ සිදු වීමකින් මියගොස් තිබෙන බවත් ඉන් පැවසුණා. වීඩියෝ පණිවුඩය මේ බව ගැන අනතුරු අඟවන පිරිමි පුද්ගල කටහඬකින් සහ ලේ විලක් මැද හිඳ සිටින හිස සුන් පුද්ගලයෙකුගේ අතිශය සංවේදී ඡායාරූප කිහිපයකින් සමන්විත වුණා.

 

 

Related posts

අභ්‍යවකාශයේ දී ලබාගත් ප්‍රථම වෛද්‍ය විද්‍යාත්මක එක්ස්-කිරණ ඡායාරූප

ඔස්ට්‍රේලියානු වෙරළට ගොඩගැසූ අද්භූත ලෝහමය ගෝල රොකට් සුන්බුන් බවට සැක කෙරේ

එක්සත් ජනපද අභ්‍යවකාශ බලකාය සතු චන්ද්‍රිකා අක්‍රිය කළ හැකි නවතම විද්‍යුත් චුම්භක අවිය