ෆුජි ගිනිකන්ද ප්‍රථම වතාවට හිම නැති ඔක්තෝබරයක් ගත කරයි

සිසිර ඍතුව උදා වී කඳු මුදුන් හිමෙන් වැසෙන සමය ආරම්භ විය යුතු නමුත් ජපානයේ ෆුජි ගිනිකඳු මුදුනට මේ වන තුරුත් හිම පතිත වී නැහැ. එහි හිම පතනය ගැන වාර්තා තැබීම ඇරඹෙන අදින් වසර 130කට පෙර සිට මේ දක්වා තැබූ වාර්තා අනුව හිම පොදක් නොමැති ව ෆුජි ගිනිකන්ද ගත කළ පළමු වැනි ඔක්තෝම්බරය මෙයයි.

ජපානයේ ඇති උස ම කන්ද වන ෆුජිහි මුදුන සාමාන්‍යයෙන් ඔක්තෝබර් මුල දී හිම පතනයට ලක් ව සුදු පැහැයෙන් දිස් වනු දැකගත හැකියි. මේ වන විට ඔක්තෝබරය ගෙවී නොවැම්බරය උදා වී ඇතත් එහි මුදුන දිස් වන්නේ හිම පොදක් නොමැති ව දුඹුරු පැහැයෙන් මයි.

1894 වසරේ පටන් ෆුජි කඳු මුදුනට වන වසරේ පළමු හිම පතනය වීම නිල වශයෙන් නිවේදනය කළ කොෆුහි ප්‍රාදේශීය කාලගුණ විද්‍යා කාර්යාලයට මේ වසරේ ඒ බව නිවේදනය කිරීමට තවමත් මඟ බලා සිටින්නට සිදු වී තිබෙනවා.

“ග්‍රීෂ්ම ඍතුවේ ජපානයේ පැවැති උෂ්ණත්වය එලෙසින් ම වාගේ පැවතීමත්, වර්ෂාපතනයත් නිසා තවමත් හිමපතනය වාර්තා වී නැහැ.” කොෆු කාලගුණ විද්‍යා කාර්යාලයේ කාලගුණ විද්‍යාඥ Shinichi Yanagi සඳහන් කරනවා.

මින් පෙර 1955 දී ෆුජි ගිනිකඳු මුදුනට වැටෙන පළමු හිමපතනය ඔක්තෝබර් 29 දක්වාත්, 2016 දී එය ඔක්තෝබර් 26 දක්වාත් පමා වී තිබුණා. නමුත් වාර්තාගත ඉතිහාසය තුළ, මේ වන විට සිදු ව ඇති පරිදි, නොවැම්බර් මසය තෙක් හිමපතනය පමා වී තිබුණේ නැහැ.

CNN ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Related posts

Artemis II ගගනගාමීන්ට ඇමරිකාවේ ඉහළම අභ්‍යවකාශ ගෞරව සම්මානය හිමි වෙයි

නැන්සි ග්‍රේස් රෝමන් දුරේක්ෂය සාර්ථකව දියත් කෙරෙයි

වසර බිලියන 13ක් පැරණි ‘අඳුරු තාරකාවලින්’ නිකුත් වන අභ්‍යවකාශ තරංග පිළිබඳව නවතම හෙළිදරව්වක්