මහාචාර්ය මනුජ් වීරසිංහ ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ධුරයට

මහාචාර්ය මනූජ් ක්‍රිෂාන්ත වීරසිංහ මහතා ශ්‍රී ලංකා රාජ්‍ය ⁣ඖෂධ නීතිගත සංස්ථාවේ අභිනව සභාපතිවරයා වශයෙන් වැඩ භාරගෙන තිබෙනවා. දශක තුනකට අධික කාලයක් මෙරට පුරවැසියන්ගේ ඖෂධ හිමිකම් වෙනුවෙන් හඬ නැගූ ඒ මහතා මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය මුල් කරගත් මානව හිතවාදී ඖෂධ භාවිතයක් වෙනුවෙන් පෙනී සිටි විද්වතෙකු ලෙස හඳුනාගත හැකියි.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා, කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ උසස් අධ්‍යාපනය හදාරන සමයේ ඔහු ද ඇතුළු සමකාලීනයන් පිරිසක් විසින් අරඹන ලද සබුද්ධික සෞඛ්‍ය ක්‍රියාකාරකම් සඳහා වන ශිෂ්‍ය එකමුතුවේ ක්‍රියාශීලී සාමාජිකයෙකු වූ ඒ මහතා අනතුරුව කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍යවිද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයකු ලෙස සේවයට එක් වුණා.

2022 වසරේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමේ මහසභාපතිවරයා වශයෙන් කැපී පෙනෙන වැඩ කොටසක් කළ මහාචාර්ය වීරසිංහ චතුර විද්‍යා සන්නිවේදකයෙකු ලෙස ද ප්‍රකටයි.

මූලික අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු 90 දශකයේ විදුසර විද්‍යා සඟරාවට එක් වූ ඔහු එහි විද්‍යා ජනමාධ්‍යවේදියෙකු ලෙස සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළා. එවක දෙනගම සිරිවර්ධන සූරීන් විසින් විදුසර වෙත කොටස් වශයෙන් සම්පාදනය කෙරුණු “යුගයේ මිනිසා” සේනක බිබිලේ චරිතාපදානය, ජනතා හිතවාදී ඖෂධ ප්‍රතිපත්තියක් වෙනුවෙන් නැඟී සිටීමේ අභිප්‍රාය තමා තුළ රෝපණය වීමට බලපෑ බව මහාචාර්ය වීරසිංහ ආවර්ජනය කරනවා.

 

Related posts

Blue Origin සමාගමේ New Glenn රොකට්ටුව පූර්ව දියත් කිරීමේ පරීක්ෂණයක් අතරතුර පිපිරී යයි

Moon Base I මෙහෙයුම ජෙෆ් බෙසෝස්ගේ Blue Origin සමාගමට

SpaceX කොටස් වෙළෙඳපොළට