Crew-10 අභ්‍යවකාශ නැවතුම්පොළට පිවිසෙයි

NASA සහ SpaceX එක් ව ක්‍රියාත්මක කරන Crew-10 මෙහෙයුම 2025 මාර්තු 14 වන දින කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් සාර්ථක ව අභ්‍යවකාශගත කෙරුණා. මෙහි දී ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට (ISS) ගමන් කළ ගගනගාමීන් සිව්දෙනා වූයේ NASAහි ඈන් මැක්ලේන් සහ නිකෝල් ඒයර්ස්, ජපානයේ ටකූයා ඔනිෂි සහ රුසියාවේ කිරිල් පෙස්කොව්. ඔවුන් ගමන්ගත් Crew Dragon කැප්සියුලය මාර්තු 16 වන දින මධ්‍යස්ථානය හා ඈඳුණු අතර, Crew-9 ගගනගාමීන් වන සුනි විලියම්ස්, බුච් විල්මෝර්, නික් හේග් සහ අලෙක්සැන්ඩර් ගෝර්බුනොව්ගේ රාජකාරීමය කටයුතු පවරාගනු ලබනවා.

මේ ගගනගාමී චක්‍රයත් සමඟ 2024 ජුනි මාසයේ බෝයිං Starliner පරීක්ෂණ යානයේ කෙටි ගමනක් ආරම්භ කළ විලියම්ස් සහ විල්මෝර්ට මාස නවයක දිගු කාලයකට පසු ආපසු පොළොවට පැමිණීමට ඉඩ සැලසෙනවා. Starliner හි ඇති වූ තාක්ෂණික ගැටලු, නිසා ඔවුන් දෙදෙනාගේ කෙටි චාරිකාව අනපේක්ෂිත ලෙස දිග්ගැස්සුණා. පසුගිය සැප්තැම්බරයේ Starliner යානය නියමුවන් රහිතව පෘථිවියට ගෙන්වාගත් NASA ආයතනය බුච් සහ සුනී Crew-9 මෙහෙයුමට අනුයුක්ත කරීමට පියවර ගත්තා.

දියත් කිරීමේ පුවරුවට සම්බන්ධ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් Crew-10 අභ්‍යවකාශගත කිරීම ඉකුත් බදාදා සිට ප්‍රමාදයට ලක් වූ අතර, එනිසා මාර්තු 16 වැනි දා පෘථිවියට පැමිණීමට දින නියම වී තිබූ විලියම්ස් සහ විල්මෝර්ගේ පිටවීම මාර්තු 19 දක්වා පමා වී තිබෙනවා.

බුච්ට සහ සුනීට අනපේක්ෂිත ලෙස දිගු කාලයක් අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටීමට සිදුවීම ඇමරිකානු දේශපාලන වේදිකා මත ද නිතර කතාවට බඳුන් වන සිදුවීමක් ව පැවතියා. ඩොනල්ඩ් ට්‍රම්ප් පාක්ෂිකයන් ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවති බයිඩන් පාලනයට පහර ගැසීම සඳහා මේ සිදුවීම ද උළුප්පා දක්වනු නිරීක්ෂණය කළ හැකි වුණා.

CNN ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 

Related posts

ස්වාමියා ඇසිපිය හෙළන විට සුනඛයන් ද වැඩි වශයෙන් ඇසිපිය හෙළන බව නවතම අධ්‍යයනයකින් හෙළි වෙයි

පෝලන්තයෙන් හමුවූ වසර 400ක් පැරණි ‘වැම්පයර් කත’ ගේ භූමදානය ගැන වැඩිදුර පර්යේෂණ ක්‍රියාත්මකයි

ලොව ප්‍රථම වරට පිඹුරෙකුට සාර්ථකව පිළිකා ප්‍රතිකාරයක්