ඊ-සිගරට් නිසා මතුවන සෞඛ්‍ය අවදානම

ඊ-සිගරට් භාවිතයෙන් ශ්වසන පද්ධතියට ආපසු හැරවිය නොහැකි හානි සිදුවිය හැකි බව වි⁣ශේෂඥයන් අනතුරු අඟවනවා.

එක්සත් ජනපදයේ යෞවනයෙකු වසර තුනක් රහසිගතව ඉ-සිගරට් භාවිතා කිරීමෙන් පසු “පොප්කෝන් පෙනහළු” යනුවෙන් හැඳින්වෙන රොගයට ගොදුරු වී ඇති අතර මෙය ආපසු සුව කළ නො හැකි තත්ත්වයක් දක්වා වර්ධනය වන බව සොයාගෙන තිබෙනවා. විධිමත් ලෙස බ්‍රොන්කියොලයිටිස් ඔබ්ලිටරන්ස් (bronchiolitis obliterans) ලෙස හැඳින්වෙන මෙම රෝගය පෙනහළුවල කුඩා ම වායු නාලිකාවලට හානි සිදුකරනවා. එමඟින් නිදන්ගත කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා, විඩාව සහ හුස්ම හිරවීම යන රෝග ලක්ෂණ ඇති වනවා.

මීට පෙර පොප්කෝන් කර්මාන්ත ශාලාවල ඩයිඇසිටයිල් රසායනිකයට නිරාවරණය වීම හේතුවෙන් මෙම රෝගය වැ⁣ළඳෙන බව හඳුනාගෙන තිබුණ ද, වර්තමානයේ රසගැන්වූ ඊ-සිගරට් දුම්වල ඇති රසායනික ද්‍රව්‍යවලින් ද වැළඳෙන බවට සාධක හමු වී තිබෙනවා. ආහාරයට ගැනීමට අනුමත බොහෝ රසකාරක, ඒවා රත් කර ආශ්වාස කිරීමේ දී විෂ සහිත වන අතර, දිගින් දිගට ම නිරාවණය වීම මඟින් පෙනහළු සහ රුධිර ප්‍රවාහයට හානි ඇති කරනවා.

පලතුරු සහ කැන්ඩි රසවලට ප්‍රිය තරුණ ප්‍රජාව වැඩි වශයෙන් රස කළ ඊ-සිගරට් භාවිතය සඳහා වැඩියෙන් නැඹුරු වීම මත මේ රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින බවයි විශේෂඥයන් අනතුරු අඟවන්නේ. ඊ-සිගරට්වල ඇති රස ගන්වන ලද දියරවල අඩංගු රසකාරක 180ක් පමණ රත් කර පරීක්ෂා කර නොමැති හෙයින් මේවා නියාමනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නැඟී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

සෞන්දර්ය සෙනරත්

Related posts

ප්ලූටෝ නැවතත් ග්‍රහලෝකයක් ලෙස නම් කිරීමේ උත්සාහයක්

3I/ ATLAS සම්භවය සිදු වූ ඉසව්ව ගැන අලුත් අධ්‍යයනයක්

සාගරය හරහා ඉදිකෙරෙන යෝජිත දැවැන්ත වේල්ලෙන් AMOC බේරාගත හැකි ද?