දිවයි⁣නේ දිස්ත්‍රික්ක කිහිපයක ගතට දැනෙන උණුසුම ඉහළට

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේ අද දිනට වලංගු වන පරිදි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ශරීරයට දැනෙන උණුසුම ඉහළ අගයක් වාර්තා කරනු ඇති බවයි.

ඒ අනුව අම්පාර, මඩකළපුව, පොලොන්නරුව සහ මොනරාගල යන දිස්ත්‍රික්ක අද දිනයේ දී අවධානයට ලක් විය යුතු සිරුරට දැනෙන උෂ්ණත්වයක් වාර්තා කරනු ඇතැ යි බලාපොරොත්තු වනවා. නිවේදනයේ දැක්වෙන පරිදි මෙම දිස්ත්‍රික්කවල ශරීරයට දැනෙන උණුසුම සෙල්සියස් අංශක 39ත් 45 අතර උෂණත්වයක් වාර්තා කිරීමට ඉඩ තිබෙනවා.

ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාව වැඩි වේලාවක් සූර්යාලෝකයට නිරාවරණය වී සිටීමෙන් තෙ⁣හෙට්ටු ගතියකට මුහුණ පෑමට සිදුවිය හැකි අතර, තවදුරටත් එළිමහනේ කටයුතුවල නිරත වී සිටීමෙන් විජලනයට ලක් වීමට හෝ ශරීරයේ ලවණ ඉවත් වීම හේතුවෙන් හටගන්නා මස්පිඬු පෙරලීම ආදී සෞඛ්‍ය තත්ත්වයන් හටගැනීමට ඉඩ තිබෙනවා.

වැඩබිම්වල කටයුතු කරන්නන්ට ප්‍රමාණවත් ලෙස ජලය පානය කර, හැකි තාක් සෙවණ ඇති ස්ථානවල විවේක ගන්නා ලෙසයි නිවේදනය උපදෙස් දෙන්නේ.

නිවෙස් තුළ රැඳී සිටින වැඩිහිටියන් සහ කුඩා දරුවන් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත්, කුඩා දරුවන් වාහනය තුළ තනි ව දමා නො යන ලෙසත් එහි දැක්වෙනවා.

⁣එසේ ම අද දිනයේ දී මෙකී දිස්ත්‍රික්කවල ජනතාව සුදු හෝ ලා පැහැති ඇඳුම් භාවිත කරන්නේ නම් වඩාත් යෝග්‍ය බව නිවේදනය වැඩිදුරටත් සඳහන් කරනවා.

Related posts

ප්ලූටෝ නැවතත් ග්‍රහලෝකයක් ලෙස නම් කිරීමේ උත්සාහයක්

3I/ ATLAS සම්භවය සිදු වූ ඉසව්ව ගැන අලුත් අධ්‍යයනයක්

සාගරය හරහා ඉදිකෙරෙන යෝජිත දැවැන්ත වේල්ලෙන් AMOC බේරාගත හැකි ද?