Science News වීදුරු බෝතල්වල, ප්ලාස්ටික් බෝතල්වලට වඩා ක්ෂුද්‍ර ප්ලාස්ටික් අඩංගු බවට අධ්‍යයන වාර්තාවක් SathyaJune 24, 20250366 views ප්‍රංශ ආහාර ආරක්ෂණ ඒජන්සිය විසින් පසුගිය සිකුරාදා නිකුත් කළ අධ්‍යයනය වාර්තාවකින් පෙනී යන්නේ පානීය ජලය, සෝඩා, බියර් සහ වයින් ඇතුළු පාන වර්ග අසුරා අලෙවි කෙරෙන වීදුරු බෝතල්වල, ප්ලාස්ටික් බෝතල්වලට වඩා මයික්‍රොප්ලාස්ටික් වැඩි ප්‍රමාණයක් අඩංගු වන බවයි. මේ අදිසි ප්ලාස්ටික් කැබලි මුළු ලෝකය පුරා, අප හුස්ම ගන්නා වාතයේ සිට අප ආහාරයට ගන්නා ආහාර දක්වා, මෙන් මිනිස් ශරීර තුළ ද සෑම තැනක ම පාහේ හමු වී තිබෙන බව සොයාගෙන තිබෙනවා. මේ ප්ලාස්ටික් බහුලත්වය මිනිස් සෞඛ්‍යයට හානිකර බවට තවමත් සෘජු සාක්ෂි සොයාගෙන නැතත්, මෙහි ව්‍යාප්තිය මැනීමට ඉලක්ක කරගත් පර්යේෂණ ක්ෂේත්‍රයක් නැඟී එමින් පවතිනවා. ප්‍රංශ ආහාර ආරක්ෂණ ඒජන්සියේ (ANSES) පර්යේෂණ අධ්‍යක්ෂ ගුයිලම් ඩුෆ්ලෝස්, AFP වෙත පැවසා ඇත්තේ, සිය කණ්ඩායම “ප්‍රංශයේ අලෙවි වන විවිධ පාන වර්ගවල මයික්‍රොප්ලාස්ටික් ප්‍රමාණය ගවේෂණය කිරීමටත්, විවිධ බහාලුම්වල බලපෑම පරීක්ෂා කිරීමටත්” උත්සාහ කළ බවයි. පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ, සිසිල් බීම, ලෙමනේඩ්, අයිස්ටි සහ බියර් ඇතුළු වීදුරු බෝතල්වල, ලීටරයකට මයික්‍රොප්ලාස්ටික් අංශු 100ක් පමණ අන්තර්ගත වන බවයි. එය ප්ලාස්ටික් බෝතල් හෝ ලෝහ කෑන්වල හමු වූ අනුපාතයට වඩා 5%ත් 50% අතර ඉහළ අගයක් ගන්නවා. “අපි අපේක්ෂා කළේ ඊට විරුද්ධ ප්‍රතිඵලයක්,” පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකාවක වන ආචාර්ය උපාධි අපේක්ෂිකා ඉසලීන් චායිබ් සඳහන් කරනවා. “අපි පසු ව දැනගත්තා, වීදුරු බෝතල් මුද්‍රා කරන මූඩිවල බාහිර පින්තාරුවෙන් එන අංශු, එම බෝතල්වල ඇති අංශුවල හැඩය, වර්ණය සහ පොලිමර් සංයුතිය සමාන බව,” ඇය සඳහන් කළා. මූඩිවල ගැල්වූ තීන්තවල “නිරීක්ෂණයට නො පෙනෙන කුඩා ඉරි තිබුණා. ඒවා බොහෝ විට මූඩි ගබඩා කර තිබුණු විට ඒවා අතර ඝර්ෂණය හේතුවෙන් ඇති වන්නට ඇති,” පර්යේෂකයන් සඳහන් කරනවා. පර්යේෂකයන් මෙහි දී අනාවරණ කරගත් පරිදි ප්‍රංශයේ අලෙවි වන වීදුරු ජල බෝතලයක අඩංගු වූ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ප්‍රමාණය ලීටරයකට අංශු 4.5ක අගයක් ගත්තා. පානීය ජලය ම තිබූ ප්ලාස්ටික් බොතල්වල තිබුණේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු ලීටරයකට 1.6ක ප්‍රමාණයක් පමණයි. සිසිල් බීමවල ලීටරයකට මයික්‍රොප්ලාස්ටික් අංශු 30ක් පමණ, ලෙමනේඩ්වල 40ක් පමණ, සහ බියර්වල 60ක් පමණ අඩංගු වූ බව වාර්තාවේ දැක්වෙනවා. Phys.org ඇසුරෙනි. සෞන්දර්ය සෙනරත්