යුද ටැංකි ඇතුළත සිට අංශක 360ක දෘශ්‍ය පරාසයක් ලබා දෙන චීනයේ නවතම AR හිස්වැසුම

චීනය විසින් සිය හමුදා සන්නාහ සන්නද්ධ රථවල කාර්ය මණ්ඩල සඳහා වැඩිදියුණු කළ වර්ධිත යථාර්ථ (AR) හිස්වැසුම් සංවර්ධනය කරමින් සිටින බව වාර්තා වී තිබෙනවා. මෙම පද්ධතිය යුධ ටැංකි සහ පාබල හමුදා සතු යුධ වාහනවල ඇති කැමරා සහ සංවේදක හා සම්බන්ධ වන අතර, පාරදෘශ්‍ය හිස්වැසුම් දර්ශනයක් හරහා 360-අංශක දර්ශනයක් ලබා දෙනවා.

මෙම AR හිස්වැසුම් මඟින්, සාමාන්‍යයෙන් දැඩි ආරක්ෂිත වාහනවල දෘශ්‍යතාව අවහිර කරන සන්නාහය හරහා “දැකීමට” එහි කාර්ය මණ්ඩලයට හැකියාව ලැබෙනවා. වාර්තා වන පරිදි තත්කාලීන වීඩියෝ දර්ශන මෙන් ම වාහනයේ තත්ත්වය, උණ්ඩ ප්‍රමාණය සහ ඉලක්ක තොරතුරු වැනි තීරණාත්මක දත්ත ද මෙසේ නිරන්තරයෙන් සෙබළුන් හට දර්ශනය වනවා.

මෙම පද්ධතිය දැනටමත් ZTZ-201 යුද ටැංකියේ සහ චීනයේ නිෂ්පාදිත නවතම යුධ සහාය වාහනවල දක්නට ලැබෙනවා. කාර්ය මණ්ඩලයට විවෘත භූමි ප්‍රදේශවල මෙන් ම නාගරික පරිසරවල දී, දිවා හෝ රාත්‍රී මෙහෙයුම්වල දී දැනුවත්භාවය පවත්වා ගැනීමේ හැකියාව ඉන් හිමි වී තිබෙනවා. දැනට පෙනී ගොස් ඇත්තේ මේ තාක්ෂණය සහිත සැලසුම විවිධ වේදිකා ඔස්සේ අවශ්‍යතාවට ඔබින අයුරින් ගැළපාගැනීමට හැකි බවයි.

මෙම හිස්වැසුම දෘශ්‍ය වැඩිදියුණු කිරීමකට ඔබ්බට ගොස් වෙඩික්කරුවන්ට ඔවුන්ගේ හිස හැරවීමෙන් හෝ බැල්ම යොමු කිරීමෙන් ආයුධ ඉලක්කගත කළ හැකි පරිදි ප්‍රහාරක සහායක පද්ධතියක් ලෙස ද යොදාගැනීමේ හැකියාව තිබෙනවා. එය එක්සත් ජනපද හමුදාවේ ඇපාචි හෙලිකොප්ටරයේ 30 මි.මී. චේන් තුවක්කුව නියමුවාගේ බැල්මේ දිශාව අනුගමනය කරන පරිදි ස්ථාපනය කර ඇති හිස්වැසුමට ක්‍රියාකාරිත්වයෙන් සමාන වනවා.

නිම්නා අමරසේකර

 

Related posts

නැන්සි ග්‍රේස් රෝමන් දුරේක්ෂය සාර්ථකව දියත් කෙරෙයි

වසර බිලියන 13ක් පැරණි ‘අඳුරු තාරකාවලින්’ නිකුත් වන අභ්‍යවකාශ තරංග පිළිබඳව නවතම හෙළිදරව්වක්

ස්වාමියා ඇසිපිය හෙළන විට සුනඛයන් ද වැඩි වශයෙන් ඇසිපිය හෙළන බව නවතම අධ්‍යයනයකින් හෙළි වෙයි