කාර්මික දෝශයක් හේතුවෙන් යළි කටුනායකට ගොඩබැස්සූ TK733

ඊයේ පස්වරු 10ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගුවනට නැඟුණු Turkish Airlines TK733 ගුවන් යානයේ ගමනාන්තය වී තිබු‍ණේ තුර්කියේ ඉස්තාන්බුල් ගුවන්තොටුපොළයි.

කෙසේ නමුත් ගුවනට නැඟී සුළු මොහොතකින් යානයේ ගොඩබැස්වීමේ ගියරයේ දෝශයක් හටගැනීම හේතුවෙන් හදිසි ගොඩබැසීමක් සිදු කරමින් නැවතත් කටුනායක ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට තීරණය කෙරෙනවා.

ඒ වන විට යානය පියාසරකරමින් සිටියේ හලාවත ප්‍රෙද්ශයට අඩි 4,000ක් පමණ ඉහළ උන්නතාං1හයකින්. හදිසි ගොඩබැස්වීමට පෙර සිදු කෙරෙන පූර්වාරක්ෂණ පියවරක් වශයෙන් යානය සතු ඉන්ධන ඉවත් කිරීම සිදු කරීමට එහි නියමුවන් කටයුතු කරන්නේ ඒ අනුවයි. ඒ අනුව එම ප්‍රදේශයට ඉහළ අහසේ වට 30කට ආසන්න ප්‍රමාණයක් ගමන් කරමින් අනවශ්‍ය ඉන්ධන සියල්ල දහනය කර නියමිත බර ප්‍රමාණය සකසා ගත් TK733 යානය අද පාන්දර 12:27 ට නිරුපද්‍රිත ව නැවතත් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබැසීම සිදු කළා. ඒ A330 මාදිළියේ යානයක් වූ එහි ගමන්ගත් මගීන් 202 දෙනාගේ සහ කාර්ය මණ්ඩලයේ සිටි 10 දෙනාගේ ජීවිතවලට අනතුරක් වීමට ඉඩ නො තබමින්.

යානය ගොඩබස්වන අවස්ථාවේ ඇති විය හැකි හදිසි තත්ත්වයකට සූදානමින් ධාවන පථය වෙත ගිනි නිවන ට්‍රක් රථ, ගිලන් රථ සහ හදිසි ප්‍රතිචාර කණ්ඩායම් යැවීමට ද ගුවන්තොටුපොළ බලධාරීන් කටයුතු කර තිබුණා.

මේ සිදුවීම හේතුවෙන් ඩුබායි සිට කටුනායක වෙත පැමිණීමට නියමිත ව තිබූ SriLankan Airlines UL232 දරන යානය සහ Flydubai FZ569 දරන යානය මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හරවා යැවීමට කටයුතු කෙරුණා. ගුවන්තොටුපොළ පාලනාධිකාරිය සඳහන් කළේ ගුවන් ගමන් තදබදය සුරක්ෂිත සහ සියුම් ලෙස පාලනය කරගැනීම සඳහා එම තීරණය ගත් බවයි.

සෞන්දර්ය සෙනරත්

Related posts

රතු වාමන තරු ග්‍රහලෝක ගිල දමන බවට සාක්ෂි හමුවෙයි

Blue Origin සමාගමේ New Glenn රොකට්ටුව පූර්ව දියත් කිරීමේ පරීක්ෂණයක් අතරතුර පිපිරී යයි

Moon Base I මෙහෙයුම ජෙෆ් බෙසෝස්ගේ Blue Origin සමාගමට