Science News සෞඛ්‍ය තත්ත්වයක් නිසා Crew 11 මෙහෙයුම අතරමඟ නවතියි SathyaJanuary 12, 2026028 views ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉතිහාසය තුළ පළමු වරට ගගනගාමියෙකුගේ සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් මෙහෙයුමක් අතරමඟ නවත්වා ගගනගාමීන් පොළොවට රැගෙන ඒමට තීරණය කර තිබෙනවා. NASA ආයතනය ඉකුත් දා නිවේදනය කළේ Crew 11 මෙහෙයුම මඟින් ISS වෙත ගිය සිව් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමේ අයෙකුගේ සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් ඔවුන් ලබන 14 වැනි දා යළි පොළොවට ගෙන්වා ගැනීමට නියමිත බවයි. NASA ගගනගාමීන් වන මයික් ෆින්කේ, සීනා කාඩ්මන්, ජපානයේ කිමියා යූයි සහ රුසියානු ගගනගාමී ඔලෙග් ප්ලැටනොෆ්ගෙන් සමන්විත Crew 11 කණ්ඩායම සයමස් මෙහෙයුම් කාලයක් සඳහා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගියේ ඉකුත් අගෝස්තු මස 2 වැනි දිනයි. අසනීප තත්ත්වය ඇති වී තිබෙන්නේ කුමන ගගනගාමියාට ද යන්න මෙතෙක් මාධ්‍යයට හෙළිකර නැහැ. NASA නිවේදනය කරන පරිදි Crew 11 කණ්ඩායම රැගත් Dragon කැප්සියුලය ලබන බදාදා (14) ග්‍රිනිච් වේලාවෙන් පැය 2200ට ISS වෙතින් වෙන් වී පෘථිවිය බලා ගමන් ඇරඹීමට නියමිත අතර, ග්‍රිනිච් වේලාවෙන් පසුදින පැය 0840ට කැලිෆෝනියා මුහුදු තීරයට ඔබ්බෙන් පැසිෆික් සාගරයට පහත් වීමට නියමිතයි. Crew 11 ගගනගාමීන් සිව් දෙනා නික්ම ඒමෙන් පසු ISS වෙත Crew 12 මෙහෙයුම දියත් වන තුරු ම එහි සිටිනු ඇත්තේ සෝයූස් යානයකින් එහි පිවිස සිටින ගගනගාමීන් තිදෙනා පමණයි. සෞන්දර්ය සෙනරත්