Artemis II ඓතිහාසික චන්ද්‍ර මෙහෙයුමට තවත් පැය 10 යි!

අඩ සියවසකට වැඩි කාලයකට පසු මිනිසුන් රැගත් අභ්‍යවකාශ යානයක් සඳ වටා ගමන් කරවීමේ NASA ආයතනයේ ඓතිහාසික ‘Artemis II’ මෙහෙයුම දියත් කිරීමට තවත් ඉතිරි ව ඇත්තේ පැය 10ක පමණ කාලක් පමණයි. ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ 39B දියත් කිරීමේ අංගනයේ (Launch Pad 39B) සිට Space Launch System (SLS) රොකට්ටුව මඟින් Orion යානය අභ්‍යවකාශගත කිරීමට මේ වන විට අවසන් අදියරේ කටයුතු සූදානම් වෙමින් පවතිනවා. සියල්ල යථා පරිදි සිදු වේ නම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට පෙරවරු 03.54ට ගගනගාමීන් සිව් දෙනා රැගත් SLS රොකට්ටුව උඩුගුවන බලා පියාසර කිරීමට නියමිතයි.

දැවැන්ත SLS රොකට්ටුවට ද්‍රව ඔක්සිජන් සහ ද්‍රව හයිඩ්‍රජන් ඉන්ධන පිරවීමේ (Propellant loading) තීරණාත්මක ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා මෙහෙයුම් පාලක මැදිරිය (Mission Control) මේ වන විට අවසර ලබා දී තිබෙනවා. ඉංජිනේරුවන් විසින් පද්ධතිවල අවසන් පරීක්ෂාවන් සිදු කරමින් සිටින අතර, සියලු ම දත්ත දියත් කිරීමක් සඳහා යහපත් තත්ත්වයේ පවතින බව දැනට පවතින වාර්තා පෙන්නුම් කරනවා.

මෙහෙයුම දියත් කිරීම සඳහා වන අවරෝහණ කාල ගණනයට අනුව තවත් ඉතිරි ව ඇත්තේ පැය 10කට අඩු කාලයක්. දියත් කිරීමේ කවුළුව (Launch window) විවෘත වන අවස්ථාව වන විට අභ්‍යවකාශගත කිරීමට ඉතා හිතකර කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ වාර්තා පුරෝකථනය කර තිබෙනවා.

මානව අභ්‍යවකාශ ගවේෂණයේ මීළඟ යෝධ පිම්ම සනිටුහන් කරන, මේ ඓතිහාසික මෙහෙයුම පිළිබඳ ඉදිරි තොරතුරු දැනගැනීමට අප හා රැඳී සිටින්න.

 

Related posts

Artemis II මෙහෙයුමෙන් අලුත් වන වාර්තා

Artemis II ගගනගාමීහු පැය හතරක නින්දක් ලබාගනිති

Artemis II දියත් කිරීමේ වගකීම දැරූ NASA ඉතිහාසයේ ප්‍රථම දියත් කිරීම් අධ්‍යක්ෂවරිය