ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ සාගරයට පතිත කිරීමේ සැලසුම ගැන පරිසර විශේෂඥයන්ගේ විරෝධය

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ (ISS) සිය මෙහෙයුම් කාලය අවසන් වීමෙන් පසු සාගරයට කඩා වැටීමට සැලැස්වීම සඳහා NASA ආයතනය විසින් සකස් කරනු ලැබ ඇති සැලැස්ම සම්බන්ධයෙන් පරිසර විශේෂඥයන් සහ විද්‍යාඥයින් දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා. මෙම ක්‍රියාවලිය මඟින් ගෝලීය සාගර පරිසර පද්ධතියේ සෞඛ්‍යයට දිගුකාලීන හා බරපතල තර්ජනයක් එල්ල විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

NASA ආයතනයේ ඉදිරි සැලසුම්වලට අනුව, 2030 වසර අවසානයේ හෝ 2031 වසර මුල දී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කක්ෂයෙන් ඉවත් කර පෘථිවිය වෙත පහත් කිරීමට (De-orbit) නියමිතයි. මේ සඳහා SpaceX සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන විශේෂ යානයක් (U.S. Deorbit Vehicle – USDV) භාවිතා කෙරෙනු ඇති අතර, ඉන් අභ්‍යවකාශ නැවතුම්පොළ පෘථිවි වායුගෝලයට ඇතුළු කර, ඉන් ඉතිරි වන විශාල සුන්බුන් පැසිෆික් සාගරයේ පිහිටි ජනාවාසවලින් ඉතාම දුරස්ථ ස්ථානයක් වන ‘පොයින්ට් නීමෝ’ ප්‍රදේශයට පතිත කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඇමරිකානු රජයේ වගවීම් පිළිබඳ කාර්යාලයේ (GAO) නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙන්නේ, ජනාවාසවලට සහ මිනිසුන්ට ඇතිවිය හැකි අවදානම අවම කිරීමේ අරමුණින් මෙම දුරස්ථ සාගර කලාපය තෝරාගෙන ඇති බවයි.

ටොන් 400ක් පමණ බරැති මෙම යෝධ අභ්‍යවකාශ ඉදිකිරීමේ කොටස් සම්පූර්ණයෙන් ම වායුගෝලයේ දී දැවී නො යන අතර, ඉතිරි වන දැවැන්ත ලෝහ සහ වෙනත් රසායනික ද්‍රව්‍ය සාගර පතුලට එකතු වීම දැවැන්ත පරිසර විනාශයකට මුල පුරනු ඇති බවට පරිසර විශේෂඥයන් කණස්සල්ල පළ කරනවා.

වොෂින්ටන් නුවර කේන්ද්‍ර කරගත් ප්‍රමුඛ පෙළේ සාගර සංරක්ෂණ සංවිධානයක් වන The Ocean Foundation පවසන්නේ NASA ආයතනයේ මෙම තීරණය සාගර පරිසරයට අහිතකර ලෙස බලපානු ඇති බවයි. අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අයත් බැටරි, විවිධ රසායනික ද්‍රව්‍ය, සහ දැවැන්ත ලෝහ කොටස් සාගරයට එකතු වීමෙන් මුහුදු ජලය දූෂණය වීම සහ සාගර ජීවීන්ට හානි සිදුවීම නො වැළැක්විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

ඇතැම් පරිසර විද්‍යාඥයින් මෙම ක්‍රියාවලිය, දෙවන ලෝක යුද්ධයෙන් පසු භාවිතයට නො ගත් යුධ පතොරම් සාගරයට බැහැර කිරීමට හෝ මහා පරිමාණයෙන් ප්ලාස්ටික් මුදා හැරීමට සමාන කර තිබෙනවා. දශක ගණනාවක් පුරා අභ්‍යවකාශයේ තිබූ අභ්‍යවකාශ නැවතුම්පොළේ එක්රැස් වී ඇති විවිධ ද්‍රව්‍ය සාගරයට එක්වීම ගැන නිසි පාරිසරික තක්සේරුවක් තවමත් සිදුකර නොමැති බව ද ඔවුන් අවධාරණය කරනවා.

අභ්‍යවකාශ සුන්බුන් සාගරයට බැහැර කිරීම සම්බන්ධයෙන් පවතින ජාත්‍යන්තර නීති රීතිවල පැහැදිලි හිඩැසක් පවතින බවත්, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සාගරයට හෙළීමේ මෙම සැලැස්ම එම නීතිමය දුර්වලතාවය මනාව පෙන්නුම් කරන අවස්ථාවක් බවත් The Ocean Foundation සංවිධානයේ ක්‍රියාකාරිකයන් පෙන්වාදෙනවා. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ගෝලීය වශයෙන් සාගර සංරක්ෂණය සඳහා දැඩි නීති පැනවිය යුතු බවයි.

මානව වර්ගයාගේ අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් වන ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ අවසානය, පෘථිවියේ පරිසර පද්ධතියට බිල්ලක් නොවිය යුතු බවට විද්‍යාඥයින් ඇමරිකානු රජයන්යෙන් සහ NASA ආයතනවලින් දැඩි ලෙස ඉල්ලා සිටිනවා.

Related posts

වඳ වී යාමේ අබිමුව සිටින ‘වකිටා’ සත්වයා සුරැකීමට නවීන ඩිජිටල් තාක්ෂණය අත්වැලක් වෙයි

ක්ෂීරපථයේ මධ්‍යයට ආසන්නව නව සුපර්නෝවා ශේෂයක් සොයාගැනේ

නව Air Force One යානයක් සේවයට එක් කෙරේ