Science News ලොව ප්‍රබලතම අංශු ත්වරකය නවීකරණ කටයුතු සඳහා 2030 දක්වා වසා දැමේ SathyaJuly 2, 2026029 views ලෝකයේ විශාලතම සහ ප්‍රබලතම අංශු ත්වරකය (Particle Accelerator) ලෙස සැලකෙන, ස්විට්සර්ලන්තයේ පිහිටි න්‍යෂ්ටික පර්යේෂණ සඳහා වූ යුරෝපීය සංවිධානය හෙවත් CERN හි පිහිටි ‘Large Hadron Collider’ (LHC), වසර හතරක පුළුල් නවීකරණ කටයුත්තක් සඳහා මේ වන විට තාවකාලික ව වසා දමා තිබෙනවා. පසුගිය ජුනි 29 වැනිදා සිට මෙහි මෙහෙයුම් කටයුතු අත්හිටුවා ඇති අතර, අදාළ යාවත්කාලීන කිරීම්වලින් අනතුරු ව 2030 වසරේ දී එය නැවතත් සක්‍රීය තත්ත්වයට පත් කිරීමට නියමිතයි. තෙවන දීර්ඝ කාලීන වසා දැමීම (Long Shutdown 3 – LS3) ලෙස හැඳින්වෙන මෙම කාලසීමාව තුළ දී, යන්ත්‍රයේ සංවේදීතාව සහ ධාරිතාව එහි මුල් සැලසුමට වඩා දස ගුණයකින් ඉහළ නැංවීමට විශේෂඥයන් අපේක්ෂා කරනවා. මෙම නවීකරණයෙන් අනතුරුව යන්ත්‍රය නැවත සක්‍රීය වන විට එය ‘High-Luminosity Large Hadron Collider’ (HiLumi LHC) ලෙස නම් කෙරෙනු ඇති බව ද සඳහන්. මෙම යාවත්කාලීන කිරීමේ ප්‍රධාන අරමුණක් වන්නේ යන්ත්‍රයේ දීප්තිය දස ගුණයකින් ඉහළ නැංවීමයි. ඒ හරහා අංශු එකිනෙක ගැටෙන වාර ගණන දැනට පවතින තත්ත්වයට වඩා තුන් ගුණයකින් පමණ වැඩි වනු ඇතැ යි විද්‍යාඥයින් අපේක්ෂා කරනවා. මෙය ඉතා සංකීර්ණ මෙන් ම දැවැන්ත ව්‍යාපෘතියක් වන අතර, CERN ආයතනයට අනුව, මෙම යාවත්කාලීන කිරීමේ දී කිලෝමීටර් 1.2ක් පමණ දිගින් යුත් පැරණි චුම්බක සහ අනෙකුත් උපාංග ඉවත් කර ඒ වෙනුවට නවීනතම උපකරණ සවි කිරීමට නියමිතයි. මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ලොව පුරා විසිරී සිටින ඉංජිනේරුවන්, භෞතික විද්‍යාඥයින්, කාර්මික ශිල්පීන් සහ සහායක කාර්ය මණ්ඩලයේ දහස් ගණනක් සිය දායකත්වය සපයමින් සිටිනවා. මෙය LHC යන්ත්‍රයේ මෙහෙයුම් සැලසුම් සහගත ව අත්හිටුවන ලද තෙවන ප්‍රධාන අවස්ථාවයි. මීට පෙර 2013 වසරේ දී ද වසර දෙකක කාලයක් සඳහා මෙය වසා දමා, අධි සන්නායක චුම්බක අතර සම්බන්ධතා ශක්තිමත් කරමින් අංශු කදම්භවල ශක්තිය විශාල වශයෙන් වැඩි දියුණු කෙරුණා. මෙම ඓතිහාසික යාවත්කාලීන කිරීම හරහා අංශු භෞතික විද්‍යා ක්ෂේත්‍රයේ නව මානයන් සොයාගැනීමටත්, විශ්වයේ සම්භවය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව පවතින රහස් වඩාත් ගැඹුරින් අධ්‍යයනය කිරීමටත් විද්‍යාඥයින්ට අනාගතයේ දී හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වනවා.