හත්වෙනි බදාදා

ළමයි.. අපි ඉක්මනින් පාඩම පටන් ගමු නේද ?
හා ටීචර්
ඔන්න අපි එදා නවත්තපු තැන ඉඳන් ඉතුරු ටික කතා කරන්නයි යන්නෙ. ඔන්න බබා එලියට එන්න සූදානම් උනාම එයාගේ ඔලු‍ව අර ගර්භාශයයි යෝනි මාර්ගයයි සම්බන්ධ වෙන තැනට තද වෙනවා.
ගර්භාශ බිත්තිය හැදිලා තියෙන්නේ මාංශපේශී වලින්, ඉතින් ඒ පේශී තද වෙලා බබාව ටික ටික ඒ සිදුර දිහාට තල්ලු‍ කරනවා. නිකමට හිතන්න අපි අර දත් බෙහෙත් ටියුබ් එකක් මිරිකලා දත් බෙහෙත් එළියට ගන්නේ. අන්න ඒ වගේ. හැබැයි බබෙක් කියන්නේ දත් බෙහෙත් වගේ නෙවෙයි නේ. බබා ඒ තරම් ලේසියෙන් එළියට එන්නේ නෑ.
ඉතින් මුලින් ම මෙහෙම වෙන්න පටන් ගත්තාම අම්මට ටික ටික වේදනාව දැනෙන්න පටන් ගන්නවා.
බබා හම්බවෙනවට අපි කියන්නේ ”‍ප්‍රසවය”‍ එහෙමත් නැත්නම් ”‍දරු ප්‍රසුතිය”‍. ඉතින් ඒ වෙලාවට එන වේදනාවට කියන්නේ ”‍ප්‍රසව වේදනාව”‍ කියලා.
මුලින් ම මේ වේදනාව ඒ තරම් ලොකුවට එන්නේ නෑ. ඒකත් සැරින් සැරේ තමයි එන්නේ. වෙලාව යන්න යන්න මේ වේදනාව වැඩි වෙනවා වගේම වේදනාව දැනෙන කාල පරතරයත් අඩු වෙනවා. ඒ කියන්නේ මුලින් පැය බාගෙන් බාගෙට වේදනාව ආවා නම් ඊට පස්සෙ වේදනාව විනාඩි පහලවෙන් පහලවට එන්න පටන් ගන්නවා.
ඉතින් ඉස්පිරිතාලෙට ලඟින් ඉන්න අම්මා කෙනෙකුට නම් මේ වේදනාව දැනෙනකොට ඉස්පිරිතාලෙට යන්න පුලු‍වන්. හැබැයි ඉස්පිරිතාලෙකට දුරින් ඉන්න, යන්න වාහනයක් එහෙම නැති අම්මා කෙනෙක්ට නම් එහෙම කරන්න බෑ. එයාලා ටික දවසක් කලින් ඉස්පිරිතාලෙට ගිහින් ඉන්න එක තමයි හොඳ. මොකද එහෙම නැත්නම් මේ බබා හම්බවෙන එක ගෙදරදී, එහෙමත් නැත්නම් පාරෙදී වෙන්න පුලු‍වන්. එහෙම වුනොත් ඒක අම්මගේ වගේම බබාගේ ජීවිතයටත් නරක විදිහට බලපාන්න පුලු‍වන්.
මොකද මේ කට්ටිය බය වෙලා වගේ. බය වෙන්න එපා..! මෙතන ඉන්න ඔයාලා වගේම මමත් මේ ලෝකෙට ඉපදුනේ ඔහොම තමයි.
ඔන්න කොහොම හරි ඉස්පිරිතාලෙට ඇවිත් ඉන්න අම්මා ට බබා ලැබෙන කාමරයට අපි කියන්නේ ”‍සූතිකාගාරය”‍.
සූතිකාගාරයේ දී තවත් දෙයක් වෙනවා. ඔයාලට මතකද මම කිවුවා බබා අම්මගෙ බඩේ ඉන්නේ වතුර පිරුනු මල්ලක් ඇතුළේ කියලා. ඉතින් බබාට බෑ ඒ වතුර මල්ල එක්ක උපදින්න. ගර්භාශ බිත්තිය තද වෙද්දි ඔන්න ඔය වතුර මල්ලත් පුපුරලා යනවා. කාට හරි කියන්න පුලු‍වන් ද ඔය මල්ලේ තිබ්බ වතුර ටිකට මොනවා වෙනවා ඇතිද කියලා?
ටීචර් කියලා දීපු හැටියට අර ගර්භාශයේ යටට යෝනි මාර්ගය සම්බන්ධ වෙලා තියෙනවා නේ. ඒ කියන්නේ ඒ වතුර ටික යෝනි මාර්ගය දිගේ එළියට එන්න ඕනෙ නේද ටීචර්?
ඔව් හරියටම හරි. ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙනවා මේ අවයව පිහිටලා තියෙන හැටි.
ඉතින් ඔන්න ඔහොම ටික ටික තෙරපෙන කොට බබාගෙ ඔලු‍ව ගර්භාශයෙන් එළියට ඇවිත් යෝනි මාර්ගය දිගේ එළියට එනවා. ඉතින් බබා ලැබෙන වෙලාවට අපිට ඉස්සරවෙලාම පේන්නේ බබාගෙ ඔලු‍ව. ඊට පස්සෙ බබාගෙ ඇඟේ ඉතුරු ටිකත් එළියට එනවා.
ඔයාලා දන්නවා ද? ගර්භාශයට යෝනි මාර්ගය සම්බන්ධ වෙන තැනට අපි කියන්නේ ”‍ගැබ් ගෙල”‍ කියලා. එතන ප්‍රමාණය සෙන්ටිමීටරයක් විතර ඇති. යෝනි මාර්ගය සෙන්ටිමීටර තුනක් විතර ඇති.
අලු‍ත් උපදින බබෙක් ගේ ඔලු‍ව සෙන්ටිමීටර් දහයක් විතර ඇති. ඒ කියන්නේ ඔයාලට තේරෙන්න ඕනෙ ඒ පොඩි මාර්ගය ඇතුලෙන් බබෙක් එළියට එන එක හරිම අමාරු වගේම ලොකුම ලොකු වේදනාවක් දැනෙන දෙයක් කියලා.
ඇත්තම කිවුවොත් ඒක ලෝකෙ තියෙන ලොකුම වේදනාවලින් එකක් කියලයි කියන්නේ.
ඒ වගේම බබා එළියට එන්නේ අර පෙකනිවැලත් එක්කමයි. ඉතින් ඉපදුනත් එයා අම්මට සම්බන්ධ වෙලයි ඉන්නේ. අපි පෙකණි වැල දෙකට කපලා බබා අම්මාගෙන් වෙන්කර ගන්නවා. ටික දවසක් යනකොට පෙකණි වැලේ ඉතිරි කෑල්ල හැලිලා යනවා. ඔයාලා පෙකණිය නැත්නම් බුරිය කියලා කියන්නේ අන්න ඒ පෙකණි වැල හයි වෙලා තිබුණු තැනට.
ඉතින් අද අපි ඉගෙනගත්තේ සාමාන්‍ය විදිහට බබෙක් හම්බවෙන්නේ කොහොමද කියලා. ඉතිං බබා එන්නේ යෝනි මාර්ගය දිගේ නිසා අපි ඒකට කියන්නේ ”‍යෝනි ප්‍රසූතය”‍ ක් කියලා.
හොඳටම හවස් උනා. අපි එහෙනම් අදට පාඩම නවත්තමු.

වෛද්‍ය නුවන් තොටවත්ත

MBBS, MSc (ප්‍රජා වෛද්‍ය විද්‍යාව)

Related posts

සගයෙක් වෙයි, නිරතුරු අප හා යනෙන

හිස්බුල්ලා හිස් සුන් කළ පේජර් පිපුරුම

දුකම කොයි තරම් සතුටක් දෝ…