චීන යූ ටූ 2 රෝවරය මේ වන විට සඳේ නොපෙනෙන පැත්තේ මීටර් 1,300ක් දුර ගිහින්.

පසුගිය වසර තුන හමාරකට වැඩි කාලය තුළ චීන යූ ටූ 2 ( Yutu 2 ) රෝවරය චන්ද්‍රයාගේ අපට නොපෙනෙන පැත්තේ මීටර් 1,300ක එනම් අඩි 4,265ක දුරක් ගමනේ යෙදී තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් 10 වෙනි දින CCTV නම් චීන රජයේ මධ්‍යම රූපවාහිනිය විසින් මේ බව නිවේදනය කරනු ලැබුවා.

සඳේ නොපෙනෙන පැත්තේ ගමනේ යෙදෙන පළමු රෝවරය මෙන්ම වැඩිම ක්‍රියාකාරී ආයු කාලයක් ගෙවා තිබීමේ වාර්තාවට හිමිකම් කියන කිලෝ ග්‍රෑම් 140ක් බරැති යූ ටූ 2 රෝවරය මීටර් 1.5ක දිගකින් හා මීටරය බැගින් පළල හා උසින් යුතු වෙනවා.

2019 වසරේ ජනවාරි මස 3 වෙනි දින සඳේ නොපෙනෙන අර්ධයේ ඇති වොන් කාමන් ආවාටය මත ගොඩ බස්වන ලද චැන්ජි 4 පතිත යානය ( lander ) විසින් පැය 12කට පසු දිගහරින ලද ද්විත්ව ආනත තලයක් ඔස්සේ රෝද හයකින් යුත් යූ ටූ 2 රෝවරය චන්ද්‍ර පෘෂ්ඨය වෙතට මුදා හරිනු ලැබුවා.

එතැන් සිට අද දක්වා රෝවරයේ ගමන NASA ආයතනය මගින් සඳ වටා කක්ෂගත කර ඇති Lunar Reconnaissance Orbiter යානය මගින් ද නිරීක්ෂණය කර තිබෙනවා.

රෝවරය සතුව අංශක 360ක් කරකැවිය හැකි පැනොරාමික් කැමරාවක්, චන්ද්‍ර විනිවිදක රේඩාරයක්, අධෝරක්ත ප්‍රතිබිම්බ වර්ණාවලිමානයක් සහ අධි ශක්ති උදාසීන පරමාණු විශ්ලේෂකයක් තිබෙනවා.

මෙහි දෙවෙනි පින්තූරයේ දැක්වෙන පරිදි වරෙක යූ ටූ 2 රෝවරය ඈත චන්ද්‍ර ක්ෂිතිජයේ ඝනාකාර හැඩැති අද්භූත වස්තුවක් නිරීක්ෂණය කරනු ලැබුවා.එය නම් කළේ ” අද්භූත කුටිය ” ( Mystery hut ) යනුවෙනුයි.එහෙත් රෝවරය එයට සමීප වීමෙන් අනතුරුව එය හාවෙකුගේ හැඩය ඇති පාෂාණ කුට්ටියක් බව හඳුනාගනු ලැබුවා.ඒ අනුව jade rabbit යනුවෙන් නම් කර තිබෙන එම පාෂාණ කුට්ටිය මෙහි තුන්වෙනි පින්තූරයේ දැක්වෙනවා.

චැන්ජි 4 පතිත යානය සහ යූ ටූ 2 රෝවරය අනාවරණය කරන තොරතුරු පෘථිවිය වෙත එවනු ලබන්නේ චීනය විසින්ම චන්ද්‍රයා වටා කක්ෂගත කර තිබෙන කියුකියාඕ නම් සම්ප්‍රේෂණ චන්ද්‍රිකාව ආධාරයෙනුයි.

Space.com ඇසුරිනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි.

Related posts

NASA ආයතනයේ X-59 ගුවන් යානය පළමු වරට ශබ්දයේ වේගය අභිබවා යයි

බ්‍රිතාන්‍යය 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරයි

ගෝලීය භූගත දිලීර ජාලයේ සිතියමක් එළිදැක්වේ