Science News පෘථිවියට අලුත් තාවකාලික චන්ද්‍රයෙක් SathyaNovember 9, 2026017 views පෘථිවිය වටා තාවකාලික ව භ්‍රමණය වන තවත් කුඩා ස්වාභාවික චන්ද්‍රිකාවක් හඳුනා ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත් ව තිබෙනවා. 2026 QQ8 ලෙස නම් කර ඇති මෙම කුඩා ග්රහකය පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට හසු වී ඇති අතර, 2026 වසරේ දෙසැම්බර් මාසය දක්වා පෘථිවිය වටා රැඳී සිටීමෙන් අනතුරුව 2027 වසරේ දී එම ගුරුත්වාකර්ෂණ බලපෑමෙන් මිදී නැවත සූර්යයා වටා සිය සුපුරුදු කක්ෂීය ගමන ආරම්භ කිරීමට නියමිතයි. ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයේ (IAU) සුළු ග්‍රහ වස්තු මධ්‍යස්ථානය (Minor Planet Center) විසින් මෙම වස්තුව පිළිබඳ නිල තොරතුරු වාර්තා කර තිබුණේ පසුගිය ඔක්තෝබර් 29 වැනි දායි. හංගේරියානු තාරකා විද්‍යාඥ ක්‍රිස්ටියාන් ෂාර්නෙස්කි විසින් 2026 අගෝස්තු මාසයේ දී මුලින් ම නිරීක්ෂණය කරනු ලැබූ මෙම ග්රහකය, ඊට මාස කිහිපයකට පෙර එනම් අප්‍රේල් මාසයේ දී පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට හසු වී කක්ෂගත වී ඇති බව විද්‍යාඥයන්ගේ නිරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා. මෙම කුඩා ග්‍රහකයේ විෂ්කම්භය ආසන්න වශයෙන් මීටර් දෙකක් පමණ වන අතර, එය සාමාන්‍ය මෝටර් රථයකට වඩා කුඩා ප්‍රමාණයේ පාෂාණමය වස්තුවක් වනවා. එය පෘථිවියට ළඟා වන සමීපතම අවස්ථාවේ දී පවා පෘථිවියේ සිට කිලෝමීටර් 568,000ක් පමණ දුරින් පිහිටනු ඇතැ යි ගණනය කර තිබෙනවා. එම දුර පෘථිවිය සහ චන්ද්‍රයා අතර පවතින සාමාන්‍ය දුර වන කිලෝමීටර් 384,400ට වඩා සැලකිය යුතු ලෙස වැඩියි. විශේෂත්වය වන්නේ මෙම ග්රහකය සෑම වසර දහයකට ආසන්න කාලයක දී ම පෘථිවියට සාපේක්ෂ ව සමීපයෙන් ගමන් කිරීමයි. එහෙත් මෙවර එය පෘථිවියට ප්‍රමාණවත් තරම් සමීප වූ බැවින් පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලපෑමට හසු වී තාවකාලික චන්ද්‍රයෙකු බවට පත් ව තිබෙනවා. විද්‍යාඥයන් විසින් එහි කක්ෂීය ගමන් මඟ ප්‍රතිනිර්මාණය කිරීමේ දී 2026 QQ8 සූර්යයා වටා එක් වටයක් සම්පූර්ණ කිරීමට දින 359ක් පමණ ගත කරන බව ද අනාවරණය කරගෙන තිබෙනවා. මෙම වස්තුව පෘථිවියට කිසිදු සැලකිය යුතු අනතුරක් ඇති නො කරන බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා. කිසියම් හේතුවකින් එය පෘථිවිය දෙසට ගමන් කර වායුගෝලයට ඇතුළු වුවහොත්, එහි කුඩා ප්‍රමාණය හේතුවෙන් පෘථිවි පෘෂ්ඨයට ළඟා වීමට පෙර වායුගෝලය තුළ දී දැවී විනාශ වීමට ඉඩ තිබෙනවා. පෘථිවියට මෙවැනි තාවකාලික චන්ද්‍රයෙකු හමු වූ පළමු අවස්ථාව මෙය නොවෙයි. මෙවැනි වස්තු විද්‍යාත්මක ව Mini-moons හෙවත් තාවකාලික ස්වාභාවික චන්ද්‍රිකා ලෙස හඳුන්වනු ලබනවා. පසුගිය වසරේ සිදු කළ පර්යේෂණාත්මක ආකෘතිගත කිරීම්වලට අනුව, ඕනෑ ම අවස්ථාවක පෘථිවිය වටා මෙවැනි කුඩා චන්ද්‍රිකා හයක් දක්වා පැවතිය හැකි බව යෝජනා වී තිබෙනවා. ඒවායින් ඇතැම් වස්තු අපගේ ප්‍රධාන චන්ද්‍රයාගෙන් වෙන් වූ පාෂාණමය කොටස් විය හැකි බව ද විද්‍යාඥයන් පෙන්වා දෙනවා. මෙවැනි තාවකාලික චන්ද්රෙයකුගේ සාමාන්‍ය විෂ්කම්භය සෙන්ටිමීටර 75ක් පමණ වන බවත්, පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට හසු වී රැඳී සිටින සාමාන්‍ය කාලය මාස නවයක් පමණ වන බවත් මෙම වසරේ සිදු කළ පරිගණක ආකෘතිගත කිරීම් මගින් යෝජනා කර තිබෙනවා. එම සංඛ්‍යා සමඟ සසඳන විට මීටර් දෙකක පමණ විෂ්කම්භයක් සහිත 2026 QQ8 සාපේක්ෂ ව විශාල නිදර්ශකයක්. තව ද, පෘථිවියට මීටර් තුනක් පමණ පළලින් යුත් පාෂාණමය වස්තුවක් ගුරුත්වාකර්ෂණයෙන් ග්‍රහණය කර ගැනීමට හැකි වුවහොත් එය වසර 10ත් 20ත් අතර කාලයක් තාවකාලික චන්ද්‍රිකාවක් ලෙස රඳවා ගැනීමට හැකි වනු ඇතැ යි පර්යේෂකයන් අනුමාන කරනවා. 2026 QQ8 පිළිබඳ මෙම සොයාගැනීම විශේෂ වන්නේ පෘථිවියට තවත් චන්ද්‍රයෙකු ලැබීම නිසා පමණක් නොවෙයි. පෘථිවිය ආසන්නයේ ගමන් කරන කුඩා ග්රහකවල හැසිරීම, ගුරුත්වාකර්ෂණ බලපෑම් සහ සෞරග්‍රහ මණ්ඩලයේ කුඩා වස්තු පිළිබඳ අධ්‍යයනය කිරීමට ද මෙය වැදගත් අවස්ථාවක් සපයන බැවින්. කෙසේ වෙතත්, මෙම නව අමුත්තාගේ 2027 වසරේ දී පෘථිවියෙන් වෙන් ව නැවත සූර්යයා වටා සිය ගමන ආරම්භ කරනු ඇති.