චන්ද්‍රයාන් 3 අද සන්ධ්‍යාවේ සඳ මතට ගොඩබසී

ඉන්දියාව විසින් දියත් කරන ලද චන්ද්‍රයාන් 3 අද (23) පස්වරු 6.04ට සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබෑමට නියමිතව තිබෙනවා. ISRO විද්‍යාඥයන් මෙහෙයුමේ සාර්ථකත්වය පිළිබඳ දැඩි විශ්වාසයකින් පසු වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. යම් හෙයකින් අනපේක්ෂිත දෝෂයක් වාර්තා වුවහොත් ඒ සඳහා ද මුහුණ දීමට ඔවුන් සූදානමින් පසු වනවා. කුමක් හෝ අවදානම් සහගත අවස්ථාවක් පැන නැඟුණහොත් ගොඩබැස්වීමේ දිනය අගෝස්තු 27 වැනි දා දක්වා කල් දැමීමට ද හැකියාව තිබෙන බව ISROහි ජ්‍යෙෂ්ඨ බලධාරියෙකු ප්‍රකාශකර තිබුණා.

සියල්ල යථා පරිදි සිදු වුවහොත් අද රාත්‍රිය උදාවන විට සඳෙහි දක්ෂිණ ධ්‍රැවය මතට ගොඩබට පළමු රට බවට ඉන්දියාව පත් ව තිබෙනු ඇති. BRICS සමුළුවට සමභාගී වීම සඳහා දකුණු අප්‍රිකාව වෙත ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දුරස්ථ ව සිට ISRO හා සම්බන්ධ වීමට නියමිතයි.

චන්ද්‍රයාන් 3 රැගත් රොකට්ටුව ISROට අයත් ශ්‍රීහරිකෝටාහි සතිෂ් ධාවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් උඩුගුවනට නැඟුණේ ඉකුත් ජූලි මස 14 වැනි දිනයි. අගෝස්තු 5 වැනි දා එය චන්ද්‍ර කක්ෂයට පිවිසුණා. පසුගිය 20 වැනි දා එය සිය උන්නතාංශය තවත් අඩු කරමින් කක්ෂය අලුත් කරගනු ලැබුණා. චන්ද්‍රයාන් 3 ‘වික්‍රම්’ ලෑන්ඩර් මොඩියුලයෙන් සහ ‘ප්‍රාග්යාන්’ චන්ද්‍ර රෝවරයෙන් සමන්විතයි. එය එතැන් සිට දින 14ක කාලයක් සක්‍රීය ලෙස චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය ගවේෂණයට ලක් කරනු ඇති.

Jagran සහ Times of India ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Related posts

අභ්‍යවකාශයේ දී ලබාගත් ප්‍රථම වෛද්‍ය විද්‍යාත්මක එක්ස්-කිරණ ඡායාරූප

ඔස්ට්‍රේලියානු වෙරළට ගොඩගැසූ අද්භූත ලෝහමය ගෝල රොකට් සුන්බුන් බවට සැක කෙරේ

එක්සත් ජනපද අභ්‍යවකාශ බලකාය සතු චන්ද්‍රිකා අක්‍රිය කළ හැකි නවතම විද්‍යුත් චුම්භක අවිය