ජයන්ති කුරු-උතුම්පාල මැටර්හෝන් තරණය කරයි

2016 වසරේ දී එවරස්ට් කඳු මුඳුන තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත් වෙමින් වාර්තාවක් එක් කළ ජයන්ති කුරු-උතුම්පාල මෙවර ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳු පන්තියේ පිහිටා ඇති මැටර්හෝන් කූටයෙහි (Matterhorn) මුදුන තරණය කරන්නට සමත් වී සිටිනවා.

ඇය ⁣සිය Facebook ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කරන්නේ මේ ගමන සඳහා දින අටක අධි-උන්නතාංශ පෙර සූදානමක් අවශ්‍ය වූ බවයි.

ස්විට්සර්ලන්තයේ සංකේතයක් බඳු වූ මැටර්හෝන් කූටය මුහුදු මට්ටමේ සිට මීටර 4,478ක් ඉහළින් පිහිටා තිබෙනවා. පිරමීඩාකාර හැඩයක් සහිත එය තරණය කිරීමට වරින් වර පැමිණි කඳු නඟින්නන් පන්සියයකට වැඩි ගණනක් මියගොස් ඇති බව වාර්තා වී තිබෙනවා. එනිසා ම එය ලොව ඇති මාරක කූට අතුරින් එකක් ලෙස සැලකෙනවා. එහි පාමුල සිට මුඳුන දක්වා නැඟීම පැය 9ත් 11ත් අතර කාලයක් වැය වන අති දුෂ්කර කාර්යයක්.

‘අයිස් කැටිති සහ හිම ගොඩැලි ගහන වූ අතර දුෂ්කර බෑවුම් සහිත ගමන් මඟ තරණය කිරීමට ක්‍රෑම්පන් (හිමෙහි යාමට සපත්තු උඩ පළඳින උල් සහිත ලෝහ තහඩුව) සහ අයිස් පොරව අත්‍යාවශ්‍ය වුණා. ඒ මොහොතේ සුපැහැදිලි නිල් අහසකුත්, පැහැපත් දේශගුණයකුත් පැවැතීමට තරම් අප වාසනාවන්ත වුණා. පසුගිය සතිය පුරා ම ඇති වූ අධික හිම පතනය නිසා කිසිඳු තරණයක් සිදු කළ හැකි ව තිබුණේ නැහැ.’ ජයන්ති වැඩිදුරටත් සඳහන් කරනවා.

කූටයේ මුදුනට පිවිසීම අගයමින් පිළිගැන්වෙන නිල සහතික පත ද මේ වන විට ඇයට හිමි වී තිබෙනවා.

සෞන්දර්ය සෙනරත්

Related posts

සූර්යයාගේ මතුපිට දැක්වෙන මෙතෙක් ලබාගත් සුපැහැදිලි ම ඡායාරූප නිකුත් වෙයි

2060 වන විට ලොව ජලාශවලින් අඩක් ම රොන්මඩ පිරී අක්‍රිය වන ලකුණු

SpaceX රොකට් කොටසක් අද හඳට කඩා වැටෙයි