ක්ලිපර් එක්ක ඔබේ නමත් යුරෝපා වෙත යවන්න

NASA ආයතනයේ යුරෝපා ක්ලිපර් (Europa Clipper) යානය ලබන වසරේ ඔක්තෝබර් 10 වැනි දා අභ්‍යවකාශගත කිරීමට සැලසුම් කෙරෙමින් පවතිනවා. බ්‍රහස්පතිගේ සාගර උපග්‍රහයා වන යුරෝපා මත ජීවයක් පැවතිය හැකි පරිසරයක් තත්ත්වයක් පවතී ද යන්න සොයා බැලීම එහි මූලික පරමාර්ථයයි.

ක්ලිපර් සමගින් අභ්‍යවකාශ ලෝලීන්ට තමන්ගේ නම ද යුරෝපා වෙත යැවිය හැකි ව්‍යාපෘතියක් NASA වෙතින් එළිදක්වා තිබෙනවා. මේ වන විට NASA වෙබ් අඩවිය ඔස්සේ ඒ සඳහා නම් 900,000ක් පමණ ලැබී ඇති බව සඳහන්. ඕනෑ ම අයෙකුට දෙසැම්බර් 31ට පෙර තමාගේ නම මේ සඳහා ඉදිරිපත් කළ හැකියි.

එසේ ම යුරෝපා ගැන ලියන ලද කවියක් ද ක්ලිපර් විසින් එහි රැගෙන යාමට නියමිතයි. In Praise of Mystery: A Poem for Europa යන හිසින් යුතු එය ඇමරිකානු ජාතික කිවිඳියක වන Ada Limón විසින් ලියනු ලැබ තිබෙනවා. එය ද එම වෙබ් අඩවිය ඔස්සේ රසවිඳිය හැකියි.

නියමිත දිනය වන විට රැස් වන නම් NASAහි ජෙට් ප්‍රචාලන විද්‍යාගාරයේ තාක්ෂණඥයන් විසින් ඉලෙක්ට්‍රෝන ධාරාවක ආධාරයෙන්, පසු ව යානයේ සවි කෙරෙන සිලිකන් මයික්‍රො චිපයක කාවැද්දීමට නියමිතයි. එසේ ලියැවෙන එක් පාඨමය පේළියක් කෙස් ගසකින් දහසකින් පංගුවක් තරම්, එනම් නැනෝමීටර 75ක ප්‍රමාණයෙන් යුතු වනු ඇති.

Message in a Bottle ලෙස නම් කර ඇති එම වැඩසටහනට මෙම සබැඳිය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් ලියාපදිංචි විය හැකියි.

NASA ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 

Related posts

SpaceX රොකට් කොටසක් අද හඳට කඩා වැටෙයි

ඩයිනෝසරයන්ගේ වඳ ව ගිය ග්‍රහක ගැටුමෙන් මිනිසුන්ට දරාගත හැකි උපරිම උෂ්ණත්වය මෙන් 17 ගුණයක තාපයක් නිකුත් වී ඇති බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි

පැසිෆික් කලාපයේ යමහල් විදාරණ හේතුවෙන් පෘථිවිය සියවස් ගණනාවක් පුරා සිසිල් වී ඇති බව හෙළි වෙයි