DVD 15,000ක මතක ධාරිතාවක් සහිත නව ප්‍රකාශ තැටියක් එළි දකී

දත්ත ගබඩා කර තබා ගැනීමේ හැකියාව “පෙටාබිට්” මට්ටම (ටෙරාබයිට 125ක්) දක්වා ඉහළ දැමිය හැකි නව ප්‍රකාශ සංගෘහිත තැටියක් නිර්මාණය කිරීමට විද්‍යාඥයන් සමත් ව සිටිනවා. සන්සන්දනාත්මක ව දක්වන්නේ නම් එය සතු ධාරිතාව DVD තැටි 15,000ක මතක ධාරිතාවට සම කළ හැකි යි.

DVD, Blu-ray තැටි වැනි ප්‍රකාශ තැටි මිලෙන් අඩු මෙන් ම කල් පවතින නමුත්, තනි ස්තර Blu-ray තැටියක උපරිම මතක ධාරිතාව ගිගාබයිට 25කට සීමා වනවා. USB සැණෙලි ධාවකයකට (Flash drive) හාඩ් ඩිස්ක් එකක තැන්පත් කළ හැකි මතක ධාරිතාව ටෙරාබයිට 16 දක්වා විවිධ වනවා. මේ හේතුවෙන් වර්තමානය වන විට ප්‍රකාශ තැටි තාක්ෂණය අබිබවමින් සාපේක්ෂව මිලෙන් අධික USB ධාවක ප්‍රචලිත වෙමින් පවතින බව අමුතුවෙන් පැවසිය යුත්තකුත් නොවෙයි.

නමුත් ඉහත සඳහන් කළ විද්‍යාඥ කණ්ඩායම නවතම අමුද්‍රව්‍යයක් යොදා ගනිමින් ප්‍රකාශ තැටිය සතු ධාරිතාව ඉහළ දැමීමට සමත් ව සිටිනවා. ඔවුන් එය හඳුන්වන්නේ dye-doped photoresist with aggregation-induced emission luminogens හෙවත් AIE-DDPR ලෙසයි.

AIE-DDPR තැටි නූතන දත්ත ගබඩාකරණයේ විප්ලවීය වෙනසක් ඇති කරනු ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ. ප්‍රකාශ තැටියක් රඳවා තබා ගැනීමට වැය වන ඉඩ සීමිත වීමත්, පාරිසික ව වඩා හිතකර වීමත් මෙන් ම සාපේක්ෂ ව අඩු මුදලකට අළෙවි කළ හැකි වීමත් එයට හේතු වනවා.

මේ පිළිබඳ පර්යේෂණ පත්‍රිකාව ඉකුත් මස 21 වැනි දා Nature ජර්නලයේ පළ වුණා.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Related posts

මන්ද තල්මසුන්ගේ සන්නිවේදනය මිනිස් භාෂාවට බෙහෙවින් සමාන බව නවතම පර්යේෂණයකින් හෙළි වෙයි

ලොව පැරණිතම බූවල්ලා පිළිබඳ මතය වෙනස් වෙයි

සඳ වටා ගිය ගගනගාමීන් ගෙදර එන හැටි