Home Science News චීනය නව අභ්‍යවකාශගාමීන් දස දෙනෙකු බඳවා ගනී

චීනය නව අභ්‍යවකාශගාමීන් දස දෙනෙකු බඳවා ගනී

by Sathya

චීනය 2030 වන විට සිදු කිරීමට නියමිත නියමු සඳ තරණය සඳහා පුහුණු කිරීමේ අරමුණින් නව අභ්‍යවකාශගාමීන් 10 දෙනෙකු තෝරා පත්කරගෙන තිබෙනවා.
චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනායතනයේ (CNSA) නියමු අභ්‍යවකාශ ඉංජිනේරුකරණ කාර්යාලය නිවේදනය කර ඇති පරිදි ඉන් අට දෙනකු නියමුවන් වන අතර දෙදෙනෙකු අයබර විශේෂඥයන් වනවා.

මෙලෙස තෝරාගනු ලැබූ අභ්‍යවකාශගාමීන් හට බීජිං ⁣නුවර පිහිටා ඇති චීන අභ්‍යවකාශගාමී මධ්‍යස්ථානයේ දී වසර දෙකක පුහුණුවක නිරත වීමට සිදු වනවා. නිවේදනය කර ඇති පරිදි, ඔවුන් හට චීනය සතු අභ්‍යවකාශ නැවතුම්පොළ වන පහළ පෘථිවි කක්ෂයේ පවතින Tiangong මධ්‍යස්ථානය වෙත යන නියමු මෙහෙයුම් සඳහා සහභාගී වීමට අවකාශය උදා වනු ඇත්තේ ඉන් පසු වයි.

පුහුණු කාලයෙන් පසු චීන අභ්‍යවකාශ නැවතුම්පොළේ දී විවිධ විද්‍යාත්මක අත්හදා බැලීම් ඔවුන් අතරින් සිදු වනු ඇති බවත්, “දැයේ නියමු චන්ද්‍ර මෙහෙයුම් සඳහා සහභාගී වීමත්” ඔවුන් ගෙන් බලාපොරොත්තු වන බව එරට අභ්‍යවකාශගාමීන්ගේ ප්‍රධාන පුහුණුකරු වන Huang Weifen, China Daily වෙත සඳහන් කරනවා.

චීනය විසින් මින් පෙර තෝරා පත්කරගෙන තිබූ අභ්‍යවකාශගාමීන් 39 දෙනා ම එරට ගුවන් හමුදා නියමුවන් ලෙස සේවයේ නියුතු ව සිටි අයයි. නමුත් නව කණ්ඩායම සඳහා ප්‍රථම වතාවට යුද හමුදාවේ ගුවන් නියමුවන් සහ නාවික හමුදාවේ ගුවන් නියමුවන් ද ඇතුළත් ව සිටිනවා. අවසන් 10 දෙනා තෝරාගෙන තිබෙන්නේ ඉල්ලුම්කරුවන් 120 දෙනෙකු අතරින්, ශාරීරික සහ මානසික තත්ත්ව පරීක්ෂණවලින් පසු ව බව චීන රාජ්‍ය මාධ්‍ය සඳහන් කරනවා.

මේ අතර සිටින අයබර විශේෂඥයන් දෙදෙනා මහජන චීනයට අයත් හොංකොං සහ මකාඕ යන “විශේෂිත පරිපාලන කලාප” ද්විත්වයෙන් තේරීපත් වූ මුල් ම අභ්‍යවකාශගාමීන් වීම විශේෂත්වයක්. හොංකොං මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඔවුන්ගේ කලාපයෙන් පත් වූ අයබර විශේෂඥයා Lai Ka-ying නම් වනවා.

කෙසේ නමුත් මකාඕ නියෝජනය කරන අභ්‍යවකාශගාමියාගේ තොරතුරු හෙළි කර නැහැ. මකාවෝ පරිපාලනය නිවේදනය කර තිබුණේ ඔහුගේ නියෝජනය තම ප්‍රදේශයට ගෞරවයක් බවයි.

අනෙකුත් අට දෙනාගේ අනන්‍යතාව ද හෙළි නො කර සිටීමට බලධාරීන් පියවර ගෙන තිබුණා. එය චීනයේ නියමු අභ්‍යවකාශ නියෝජිතායතනය අනුගමනය කරන නීති රෙගුලාසියක්. ඔවුන් විසින් Tiangong නැවතුම්පොළ වෙත පිටත් කර හැරෙන අභ්‍යවකාශගාමීන්ගේ නම් ද ප්‍රසිද්ධියට පත් කෙරෙන්නේ මෙහෙයුම දියත් වීමට එක් දිනක් තිබිය දීයි.

Space.com ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications