Home Science News ඇමසන් නදියේ ‘ඩොරාඩෝ’ මත්ස්‍යයා සුරැකීමට දකුණු ඇමරිකානු රටවල් හයක් අත්වැල් බැඳගනී

ඇමසන් නදියේ ‘ඩොරාඩෝ’ මත්ස්‍යයා සුරැකීමට දකුණු ඇමරිකානු රටවල් හයක් අත්වැල් බැඳගනී

by Sathya

ලොව දිගු ම මිරිදිය සංක්‍රමණය සිදු කරන, ඇමසන් නදියට උරුමකම් කියන දැවැන්ත ‘ඩොරාඩෝ’ (Dorado) කැට්ෆිෂ් මත්ස්‍ය විශේෂය වඳ වී යාමේ තර්ජනයෙන් බේරා ගැනීම සඳහා දකුණු ඇමරිකානු රටවල් හයක් නව ජාත්‍යන්තර ක්‍රියාකාරී සැලැස්මකට අත්සන් තබා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සහාය ලබන ‘සංක්‍රමණික විශේෂ සංරක්ෂණය පිළිබඳ සම්මුතිය’ (CMS) යටතේ බ්‍රසීලය විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට රටවල් හයක් එකඟතාව පළ කර ඇත්තේ වසර දහස් ගණනක් පැරණි මෙම මත්ස්‍ය සංක්‍රමණ මාර්ගය ආරක්ෂා කිරීමේ අරමුණින්.

Zungaro zungaro ලෙස විද්‍යාත්මක ව නාමකරණය කර ඇති ‘ගිල්ඩඩ් කැට්ෆිෂ්’ (Gilded Catfish) ලෙස ද හැඳින්වෙන ඩොරාඩෝ මත්ස්‍යයා, අන්දීස් කඳුවැටිය ආශ්‍රිත ප්‍රදේශවල බිත්තර දමා, පසු ව අත්ලාන්තික් සාගරය හමුවන මෝය ප්‍රදේශය දක්වා සැතපුම් දහස් ගණනක් පිහිනා යනවා. අඩි හයක් පමණ දිගින් සහ රාත්තල් 200ක බරින් යුක්ත විය හැකි මෙම මත්ස්‍යයන්, නැවතත් බිත්තර දැමීම සඳහා වසර දෙකක පමණ කාලයක් තුළ සැතපුම් 7,000ක වටරවුම් ගමනක් සම්පූර්ණ කරමින් අන්දීස් කඳු පාමුලට ම පැමිණෙනවා. මෙය ලොව මිරිදිය මත්ස්‍යයෙකු සිදු කරන දීර්ඝතම සංක්‍රමණය ලෙස සැලකෙනවා.

මෑත කාලීන ව ඉදිකරන ලද වේලි සහ ගංගා පද්ධති ඛණ්ඩනය වීම් හේතුවෙන් මේ මත්ස්‍යයන්ගේ සංක්‍රමණ මාර්ග අවහිර වී ඇති අතර, එය ඔවුන්ගේ ගහනය ශීඝ්‍රයෙන් පහත වැටීමට හේතු වී තිබෙනවා. නිදසුනක් ලෙස, බ්‍රසීලයේ වේලි දෙකක් ඉදිකිරීම හේතුවෙන් බොලිවියාවේ ඩොරාඩෝ මත්ස්‍ය ගහනය වසර 15ක් තුළ 80%කින් පහත වැටී ඇති බව හෙළි වී තිබෙනවා. මීට අමතර ව පතල් කැණීම් නිසා සිදුවන රසදිය දූෂණය සහ අධික ලෙස මසුන් ඇල්ලීම ද මොවුන්ගේ පැවැත්මට එල්ල වී ඇති තර්ජන අතර වනවා.

ඇමසන් කලාපයේ වෙසෙන මිලියන 47ක පමණ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව සහ ආර්ථිකය මෙම සංක්‍රමණික මසුන් මත බෙහෙවින් රඳා පවතිනවා. ඇමසන් ධීවර කර්මාන්තයේ වාර්ෂික අස්වැන්නෙන් 93%ක් ම සංක්‍රමණික මත්ස්‍ය විශේෂ වන අතර, එමඟින් වසරකට ඩොලර් මිලියන 436ක ආදායමක් උත්පාදනය වනවා. එමෙන්ම , පද්ධතියේ සමතුලිතතාව රැක ගැනීමට මෙම විලෝපික මත්ස්‍යයා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා.

නව සැලැස්ම යටතේ, පවතින වේලි හරහා මසුන්ට ගමන් කිරීමට හැකි වන පරිදි ‘මත්ස්‍ය ඉණිමං’ සකස් කිරීම, පැරණි වේලි ඉවත් කිරීම සහ නව ව්‍යාපෘති සඳහා වඩාත් විධිමත් පාරිසරික ඇගයීම් සිදු කිරීම අපේක්ෂිතයි.

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications