පේරු රාජ්‍යයෙන් වසර 5000ක් පැරැණි දෙවොලක් සොයාගැනේ

පේරු රාජ්‍යයේ වැලි පරයක් යට වසර 5000ක් තිස්සේ සැඟවී පැවති සිද්ධස්ථානයක් සහ එහි පැවති මිනිස් අස්ථි අවශේෂ සොයාගන්නට පුරාවිද්‍යාඥයන් පිරිසක් සමත් වී තිබෙනවා. මේ සොයා ගැනීම සිදු කර තිබෙන්නේ එරට Zaña දිස්ත්‍රික්කයේ පිහිටි Los Paredones de la Otra Banda-Las Ánimas ලෙස හැඳින්වෙන පුරාවිද්‍යාත්මක නටඹුන් බහුල ව හමු වන භූමි ප්‍රදේශය තුළින් බව පේරුවියානු සංස්කෘතික අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

පසුගිය ජූනි 03 වැනි දාට දින නියම වූ කැණීමක් අතරතුර පුරාවිද්‍යාඥයන් හට මේ මහල් කිහිපයකින් යුතු විණැ යි සැක කළ හැකි සිද්ධස්ථානයේ බිත්තිවල අවශේෂ හමු වී තිබුණා. මේ බිත්ති අතර, වැඩුණු පුද්ගලයන් තිදෙනෙකුගේ ඇටසැකිලි ද සොයාගන්නට ඔවුන් සමත් වුණා. ඒ සමඟ තිබී හමු වූ රෙදිකඩකින් ඔතන ලද කැප කළ ආයිත්තම්, හේතුවෙන් එය බිලි දීම් සඳහා පවත්වාගෙන ගිය සිද්ධස්ථානයක් විය හැකි බවට සැක කෙරෙනවා.

“මේ අපට හමු වී තිබෙන්නේ වසර 5000ක ඉතිහාසයක් ඇති මැටිවලින් ඉදි කරන ලද බිත්ති සහිත ආගමික ඉදිකිරීමක්. ගොඩනැඟිල්ල මැදින් ඉහළින් පිහිටි වේදිකාවක් වැනි යමක් සමඟ යා වන තරප්පු පෙළක් ද එහි වනවා.” Zaña නිම්නයේ ක්‍රියාත්මක පුරාවිද්‍යා ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ Luis Armando Muro Ynoñán සඳහන් කරනවා.

දෙවොලේ බිත්ති කුරුලු හිසක් සහිත මිනිස් රූප දැක්වෙන කැටයම්වලින් සරසා තිබූ බවට සාධක ද මෙහි දී පුරාවිද්‍යාඥයන් විසින් අනාවරණය කරගනු ලැබ තිබෙනවා.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Related posts

අභ්‍යවකාශයේ දී ලබාගත් ප්‍රථම වෛද්‍ය විද්‍යාත්මක එක්ස්-කිරණ ඡායාරූප

ඔස්ට්‍රේලියානු වෙරළට ගොඩගැසූ අද්භූත ලෝහමය ගෝල රොකට් සුන්බුන් බවට සැක කෙරේ

එක්සත් ජනපද අභ්‍යවකාශ බලකාය සතු චන්ද්‍රිකා අක්‍රිය කළ හැකි නවතම විද්‍යුත් චුම්භක අවිය