Starliner ගැටලුව විසඳන තුරු මීළඟ ගගනගාමී දියත් කිරීම කල් දමයි

NASA ආයතනය ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත දියත් කිරීමට නියමිත මීළඟ ගගනගාමී මෙහෙයුම කල් දැමීමට තීරණය කර තිබෙනවා. ඒ දැනට අභ්‍යවකාශ නැවතුම්පොළ හා සම්බන්ධ කර තිබෙන Boeing Starliner කැප්සියුලයේ දෝෂ නිරාකරණය සඳහා තවත් කල් ලබා ගැනීමේ අරමුණින්. ඉකුත් ජුනි 05 වැනි දා අභ්‍යවකාශ නැවතුම්පොළ බලා ගිය Starliner කැප්සියුලයේ හීලියම් කාන්දු වීමක් සහ තෙරපුම්කාරකවල දෝෂයක් හේතුවෙන් දින දහයක මෙහෙයුමක් සඳහා ඉන් ගමන් ගත් ගගනගාමීන් දෙදෙනාට මේ වන තුරු ම අභ්‍යවකාශ නැවතුම්පොළ තුළ රැඳී සිටීමට සිදු ව තිබෙනවා.

Starliner පරීක්ෂක නියමුවන් වශයෙන් මෙහෙයුමට එක් වූ Butch Wilmore සහ Suni Williams අනපේක්ෂිත ලෙස දිග්ගැස්සුණු මෙහෙයුම් කාලය අභ්‍යවකාශ නැවතුම්පොළේ ගත කිරීමට සිදු වී ඉකුත් අඟහරුවාදා‍ට (06) මාස දෙකක කාලයක් සම්පූර්ණ වුණා. සියල්ල යථා පරිදි සිදු විණි නම් ඔවුන් දෙදෙනා ආපසු පොළොවට පැමිණිය යුතු ව තිබුණේ ජූනි මාසයේ මැදයි.

පසුගිය දා NASA නිවේදනය කළේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සිව්පුද්ගල මෙහෙයුමක් වෙනුවෙන් සිදු කිරීමට නියමිත SpaceX Crew Dragon මෙහෙයුම සැප්තැම්බර් 24 දක්වා කල් දැමීමට තීරණය කර ඇති බවයි. Starliner කැප්සියුලයේ තෙරපුම්කාරක සහ කාන්දු වීම් ආදී ගැටලුකාරී තත්ත්වයන් විශ්ලේෂණය කර බැලීමට අමතර කාලයක් ලබා ගැනීම එහි අරමුණ බව බලධාරීන් සඳහන් කළා.

“NASA සහ Boeing, Starliner යානයේ පරිශීලන හැකියාව පරීක්ෂාකර බැලීම සඳහා කටයුතු කරමින් සිටින අතර එහි ආපසු පැමිණීම ගැන තීරණයක් ගෙන නැහැ.” නිවේදනයක් නිකුත් කරමින් NASA සඳහන් කරනවා.

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ සතු ව ඇති ඈඳීමේ කෙවෙනි හෙවත් ‘docking ports’වලින් ඇමරිකාවේ භාවිතය සඳහා වෙන් ව ඇති කෙවෙනි දෙකට ම මේ වන විට අභ්‍යවකාශ යානා දෙකක් සම්බන්ධ කර තිබෙනවා. මේ මාසයේ දී දියත් කිරීමට තිබූ SpaceX මෙහෙයුම කල් යාමත් සමඟ දැනට අභ්‍යවකාශ නැවතුම්පොළේ සිටින SpaceX කැප්සියුල භාවිතා කරමින් පැමිණි ගගනගාමීන්ගේ ආපසු පැමිණීම ද කල් යනවා.

Associated Press ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Related posts

රතු වාමන තරු ග්‍රහලෝක ගිල දමන බවට සාක්ෂි හමුවෙයි

Blue Origin සමාගමේ New Glenn රොකට්ටුව පූර්ව දියත් කිරීමේ පරීක්ෂණයක් අතරතුර පිපිරී යයි

Moon Base I මෙහෙයුම ජෙෆ් බෙසෝස්ගේ Blue Origin සමාගමට