දශක තුනක් ආයු වළඳා නික්ම ගිය ‘ග්‍රීඩි මහත්තයා’

ඇමරිකාවේ බල්ටිමෝර්හි මේරිලන්ඩ් සත්ත්වෝද්‍යානයේ ජීවත් වූ මිස්ටර් ග්‍රීඩි යන සුරතල් නාමයෙන් හැඳින්වූ අප්‍රිකානු පෙන්ගුයිනයා (Spheniscus demersus) පසුගිය සතියේ මිය ගියා. ඒ එම විශේෂයට අයත් ජනිතයන්ගේ සාමාන්‍ය ආයුකාලය ලෙස සැලකෙන වසර 18 ක කාලය ඉක්මවා සැලකිය යුතු කාලයක් ජීවත් වීමෙන් අනතුරු වයි. ඔහු මිය යන විට 33 හැවරිදි ව සිටියා.

සත්ත්වෝද්‍යාන බලධාරීන් සඳහන් කරන පරිදි මිස්ටර් ග්‍ර්‍රීඩි උතුරු ඇමරිකානු මහාද්වීපයේ විසිරී පවතින සත්ත්වෝද්‍යාන රැසක පෙන්ගුයින් ගහනය නඟා සිටුවීමට ලබා දී ඇත්තේ සුළුවෙන් තැකිය හැකි දායකත්වයක් නො වෙයි. සත්ත්වෝද්‍යාන සහ මින් මැදුරු සංගමයේ අප්‍රිකානු පෙන්ගුයින් විශේෂ සුරැකීමේ සැලසුම යටතේ ජනිතයන් 230ක් බිහි කර ඇති ඔහු බිහි කිරීමට දායක වී ඇති ජනිත පරම්පරා ගණන පහක්.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේරිලන්ඩ් සත්ත්වෝද්‍යානය සඳහන් කර තිබුණේ වයෝවෘද්ධ භාවයට පත් වීමත් සමඟ ඇති වූ සෞඛ්‍ය තත්ත්වයන් හේතුවෙන් ග්‍රීඩි මරණයට පත් වූ බවයි. එය වේදනාවකින් තොර මරණයක් බවත් ඔවුන් සඳහන් කර තිබුණා.

සත්ත්වෝද්‍යානයේ පක්ෂීන් පිළබඳ භාරකරු මෙන් ම සුරැකීමේ ව්‍යාපෘතියේ ප්‍රධානියා ද වන Jen Kottyan පවසන්නේ දශක තුනක් තිස්සේ සත්ත්වෝද්‍යානය සජීව ගුණයෙන් පිරවූ සතෙකුගේ අහිමි වීම දරාගැනීමට අපහසු බවයි. නමුත් ඇයත් ඇගේ රාජකාරීමය සගයනුත් පක්ෂීන් අතර ග්‍රීඩි තබා ගිය සරු භාවය පිළිබඳ වාර්තාව ගැන ආඩම්බර වනවා. “ලෝකය පුරා අප්‍රිකානු පෙන්ගුයින්ලාගේ පැවැත්ම වෙනුවෙන් මේ තනි කුරුල්ලා අතිශය වැදගත් භූමිකාවක් ඉටු කළා.” ඇය සඳහන් කරනවා.

npr ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Related posts

Blue Origin සමාගමේ New Glenn රොකට්ටුව පූර්ව දියත් කිරීමේ පරීක්ෂණයක් අතරතුර පිපිරී යයි

Moon Base I මෙහෙයුම ජෙෆ් බෙසෝස්ගේ Blue Origin සමාගමට

SpaceX කොටස් වෙළෙඳපොළට