Home Science News චීනයෙන් අතිධ්වනික මඟී ප්‍රවාහන ජෙට් යානයක්

චීනයෙන් අතිධ්වනික මඟී ප්‍රවාහන ජෙට් යානයක්

by Sathya

චීන සමාගමක් විසින් මගී ප්‍රවාහනය සඳහා වන අතිධ්වනික ගුවන් යානායක මූලාකෘතියක් එළිදක්වනු ලැබ තිබෙනවා. Lingkong Tianxing Technology නමැති එම සමාගම පවසන පරිදි අතිධ්වනික වේගයකින් මගීන් ප්‍රවාහනය කළ Concorde ගුවන් යානාවල වේගය මෙන් දෙගුණයක වේගයෙන් එයට පියාසර කළ හැකි බවයි.

ඔවුන් මේ නව මූලාකෘති ගුවන් යානය හඳුන්වන්නේ Yunxing නමින්. එයට පැයට සැතපුම් 3069ක වේගයකින්, නො එසේ නම් මාක් 4ක වේගයකින් පියාසර කළ හැකි බවයි ඔවුන් පවසන්නේ.

මේ වන විට එය සාර්ථක ලෙස පරීක්ෂණ පියාසැරියක නිරත වී ඇති අතර එලැඹෙන මාසයේ ද නැවත වතාවක් පරීක්ෂණ පියැසැරියක් සිදු කිරීමේ බලාපොරොත්තු වන බව South China Morning Post වාර්තා කරනවා. සමාගම බලාපොරොත්තු වන්නේ 2027 දී එහි නියමිත පරිමාණයෙන් යුතු පරිපූර්ණ මට්ටමේ ගුවන් යානයක් පියාසර කරවීමටයි.

අභ්‍යවකාශ ගවේෂණයේ දී වැය වන පිරිවැය අවම වන පරිදි අභ්‍යවකාශ ප්‍රවාහනයට අදාළ පද්ධති සැලසුම් කරන සහ නිපදවන Lingkong Tianxing Technology සමාගම 2018 දී පිහිටුවනු ලැබුණේ Yudong Wang විසින්. බීජිං නුවර පිහිටා ඇති සමාගම 2021 වන සිය අරමුණුවලට සරිලන මට්ටමේ අරමුදලක් රැස් කරගන්නට සමත් වූ අතර 2022 දී Tianxing I රොකට්ටුව සාර්ථක ලෙස අත්හදා බැලුවා.

South China Morning Post වාර්තා කරන පරිදි Yunxing අතිධ්වනික ජෙට් යානයේ වායුගතිකත්වය, උෂ්ණත්ව ආරක්ෂණය සහ පාලන පද්ධතිවල ක්‍රියාකාරිත්වය ආදී කරුණු රැසක් අත්හදා බැලීමේ පියාසැරීයේ දී අවධානයට ලක් වී තිබෙනවා.

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications