Science News ‘නිල් අවතාරය’ සඳට ගොඩබසී SathyaMarch 3, 2025056 views This image provided by Firefly Aerospace on Feb. 26, 2025 shows Firefly Aerospace’s Blue Ghost lunar lander orbiting the moon. (Firefly Aerospace via AP) Firefly Aerospace සමාගමේ Blue Ghost චන්ද්‍ර ලෑන්ඩරය ඊයේ (02) සාර්ථක ලෙස සඳ මතට ගොඩබස්වනු ලැබුණා. ඒ සඳ මතට සුමට ගොඩබැස්මක් සිදුකිරීමට සමත් වූ දෙවැනි පෞද්ගලික අංශයේ අභ්‍යවකාශ යානය බවට පත් වෙමින්. NASA ආයතනය වෙනුවෙන් විද්‍යාත්මක පර්යේෂණ 10ක් පමණ ඉටු කිරීමට එය බලාපොරොත්තුවෙන් සිටිනවා. “අප සඳ මත!” NASAහි විද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සම පරිපාලක නිකී ෆොක්ස් ගොඩබැසීමට සමගාමීව සිදු කරන ලද සජීව විකාශයට එක් වෙමින් සඳහන් කළා. “මට සමාවෙන්න – මම මේ වෙලාවෙ සෑහෙන උද්දාමයට පත් වෙලයි ඉන්නේ.” සඳ වටා කක්ෂගත ව පැවති ලෑන්ඩරය ඒ මතට ගොඩබැසීමේ ක්‍රියාවලිය ආරම්භ වූයේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ පස්වරු 1:00ට පමණ. ඒ සිය එන්ජින් දල්වමින්, මෙතෙක් චන්ද්‍ර මතුපිට සිට කිලෝමීටර 100කට ඉහළින් පිහිටි කක්ෂයේ සිට උන්නතාංශය තවත් අඩු කරගනිමින්. මෙලෙස තවත් විනාඩි 50කට ආසන්න කාලයක් උන්නතාංශය අවම කරගනිමින් ඇදී ගිය යානය නැවත වතාවක් එන්ජින් දල්වා කක්ෂීය ප්‍රවේගය මන්දනය කරගිනිමින් අපේක්ෂිත ගොඩබැසුම් ප්‍රදේශය වන Mare Crisium (Sea of Crises) හෙවත් ‘අර්බුදයන්ගේ මුහුද’ මතට සුමට ගොඩබැස්මක් සිදු කළා. ඒ ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 2:04 ට පමණ. මේ ව්‍යායාමය අතරතුර සිය සියලු ම ක්‍රියාකාරිත්වයන් කාලසටහනට අනුකූල ව ම සිදු කිරීමට Blue Ghost සමත් ව තිබුණා. පෞද්ගලික සමාගමක් විසින් යවනු ලැබූ යානයක් චන්ද්‍රයා මතට සාර්ථක සුමට ගොඩබැස්මක් සිදුකළ දෙවැනි අවස්ථාව වන්නේ මෙයයි. ඉකුත් වසරේ පෙබරවාරි මස Intuitive Machines සමාගමේ Odysseus යානය සඳ මතට ගොඩබසින ලද පළමු වැනි පෞද්ගලික අංශයේ යානාව බවට පත් වීමට සමත් වුණා. Space.com ඇසුරෙනි. සෞන්දර්ය සෙනරත්