Home Science News Air India අනතුරේ මූලික විමර්ශන වාර්තාව එළියට

Air India අනතුරේ මූලික විමර්ශන වාර්තාව එළියට

by Sathya

ඉකුත් මාසයේ අහ්මදාබාද්හි දී සිදු වූ Air India ගුවන් අනතුර සම්බන්ධයෙන් සිදු වූ මූලික පරීක්ෂණවල දී හෙළි වූ කරුණු ඇතුළත් නිල වාර්තාවක් ඉන්දීය ගුවන්යානා අනතුරු විමර්ශන බියුරෝව (Aircraft Accident Investigation Bureau – AAIB) විසින් නිකුත් කරනු ලැබ තිබෙනවා. ඉන් පෙන්වා දෙන්නේ යානය ගුවනට එසැවෙමින් පැවති මුල් තත්පර කිහිපය තුළ දී එහි එන්ජින් වෙත ඉන්ධන සැපයෙන ස්විච දෙක නිවා දමා ඇති බවයි.

යානය සතු ‘කළු පෙට්ටිය’ හෙවත් දත්ත පටිගතකරීමේ යන්ත්‍රයෙන් ලබාගත් දත්තවලට අනුව, එය නෝට් 180ක වේගයක් ලබාගන්නා මොහොතේ දී මෙම ස්විච දෙක RUN අවස්ථාවේ සිට CUTOFF තත්ත්වය දක්වා පහත වැටී ඇති බවයි. Boeing 787 Dreamliner යානය සතුව ඇති එන්ජින් ද්විත්වය වෙත යැවෙන ඉන්ධන සැපයුම වෙන වෙන ම පාලනය කළ හැකි පරිදි සකසා ඇති මෙම ස්විච දෙක ම CUTOFF තත්ත්වයට පහත දමා ඇත්තේ තත්ත්පරයක කාල පරාසයක් ඇතුළත බව වාර්තාව පෙන්වා දෙනවා.

එක් නියමුවෙක් අනෙක් නියමුවාගෙන් තමා ස්විච පහත හෙලුවේ මන්දැයි විමසන අයුරුත්, අනෙකා ඊට පිළිතුරු දෙමින් තමා එසේ නො කළ බව පවසන අයුරුත් පටිගත කිරීමේ යන්ත්‍රයේ හඬපටයක සටහන් ව තිබෙන බව ද මූලික පරීක්ෂණ වාර්තාවේ සඳහන්. නමුත් ප්‍රධාන නියමුවා වූ සුමීත් සබ්‍රවාල් (56) සහ දෙවැනි නියමුවා වූ ක්ලයිව් කුන්දර් (32) අතරින් එම සංවාදය කවුරුන් විසින් කා හට කියන ලද්දක් ද යන්න වාර්තාවේ සඳහන් කර නැහැ.

කෙසේ නමුත් ස්විචය පහළ වැටී ඇති බව හඳුනාගැනීමෙන් පසු වහා යළි එය ක්‍රියාත්මක කිරීමට නියමුවන් කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් යානය ඒ වන විට පැවති ඉතා අඩු උන්නතාංශය හේතුකොටගෙන එන්ජින් ධාරිතාව සෑහෙන පරිදි වර්ධනය වීමට පෙර යානය අනතුරට ලක් ව තිබෙන බවයි වාර්තාව පෙන්වා දෙන්නේ.

වාර්තාවට පාදක මූලික පරීක්ෂණවලින් එන්ජින් වෙත යන ඉන්ධන සැපයුම කපාහැරීම සිතාමතා සිදුකරන ලද දෙයක් ද, අත්වැරැදීමක් ද නො එසේ නම් තාක්ෂණික දෝෂයක් නිසා සිදු වූ දෙයක් ද යන්න හෙළි වී නැහැ.

787 Dreamliner යානාවල ඉන්ධන සැපයුම් ස්විච ද්විත්වය, නියමු ආසන දෙක මැද පිහිටි එන්ජින් ලීවරවලට මඳක් පහළින් පිහිටා ඇති අතර අත්වැරැදීමකින් හෝ නිරායාසයෙන් පහළ වැටීමට නො හැකි වන පරිදි ලෝහ ආවරණයක් ද දෙපසින් සවිකර තිබෙනවා. ‍‍‍

ඉන්දීය සිවිල් ගුවන්සේවා අමාත්‍ය රාම්‌ මෝහන් නායිදු පවසන්නේ පරිපූර්ණ විමර්ශන වාර්තාවක් නිකුත් වීමට තවත් මාස ගණනාවක කාලයක් වැය විය හැකි බැවින්, අනතුරට හේතුව ගැව ඉක්මන් නිගමනයකට පැමිණීම නුසුදුසු බවයි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications