නිවෙසක් මතට ඇදවැටුණු උල්කාපාතයක් පෘථිවියටත් වඩා වයසැති බව සොයාගෙන තිබේ

ඇමරිකාවේ නිවෙසක් මතට ඇදවැටුණු උල්කාපාතයක් පෘථිවියටත් වඩා වයසැති බව සොයාගෙන තිබෙනවා. මෙම වස්තුව ඉකුත් ජුනි 26 වැනි දා දිවා කාලයේ දී ජෝජියා ප්‍රාන්තයට ඉහළ අහසේ ඇදී යමින් තිබිය දී පුපුරාගොස් තිබුණා. ඉන් විසිරී ගිය උල්කාශ්ම කොටසක් McDonough නගරයේ පිහිටි නිවෙසක වහලයක් සිදුරුකරමින් නිවෙස තුළට වැටී තිබිය දී හමු වූ අතර එය ජෝජියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්ගේ විමර්ශනයට බඳුන් වුණා.

ඉන් ලද තොරතුරු අනුව ඔවුන් සැක කරන්නේ එම උල්කාපාතය සම්භවය වී ඇත්තේ අදින් වසර බිලියන 4.56කට ඉහත දී බවයි. එනම් පෘථිවිය බිහිවීමටත් වසර මිලියන 20කට පමණ පෙර බවයි.

ඉහළ අහසේ ඇදී යමින්, දැවැන්ත කම්පන ශබ්දයක් ඇති කරමින් පිපිරී ගිය මෙම වස්තුව පිළිබඳ ජෝජියා ඇතුළු අසල්වාසී ප්‍රාන්ත කිහිපයකින් ම ඇසින් දුටු වාර්තා සියගණනක් ඉදිරිපත් වී තිබෙනවා. පතිත වූ නගරය මත පදනම් ව මැක්ඩෝනෝෆ් උල්කාපාතය (McDonough meteorite) යනුවෙන් හැඳින්වෙන මෙය ජෝජියා ප්‍රාන්තයෙන් හමු වූ 27 වැනි උල්කාපාතයයි.

නිම්නා අමරසේකර

Related posts

අඳුරු ශක්තියේ අබිරහස විසඳීමට මුල් විශ්වයේ ඇති හයිඩ්‍රජන් ආලෝකය උපකාරී වෙයි

සඳ මත භූගත ගුහා සොයන NASA ආයතනයේ නවතම මෙහෙයුම

න්‍යෂ්ටික යුද්ධ සහ කෘත්‍රිම බුද්ධියේ අනිසි භාවිතය නිසා 2100 වන විට මානව වර්ගයා නෂ්ට වීමට ඉඩ ඇති බවට අනතුරු ඇඟවීමක්