Home Science News ඇමරිකාවේ මිලිටරිමය ‘අභ්‍යවකාශ ගුවන් යානය’ නැවතත් උඩුගුවනට

ඇමරිකාවේ මිලිටරිමය ‘අභ්‍යවකාශ ගුවන් යානය’ නැවතත් උඩුගුවනට

by Sathya

ඊයේ දිනයේ ඇමරිකාව සතු ‘අභ්‍යවකාශ ගුවන් යානය’ ලෙසින් ද හැඳින්වෙන X-37B යානය සිය අට වැනි පියාසැරිය සිදු කරමින් ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට උඩුගුවන්ගත වුණා. මේ සඳහා SpaceX Falcon 9 රොකට්ටුවක් උපයෝගී කරගැනුණා. මෙම මෙහෙයුම නම් කර ඇත්තේ USSF-36 ලෙසයි.

NASA ආයතනය සතු විශ්‍රාම යැවුණු අභ්‍යවකාශ ශටලයකට සමානකම් දක්වන X-37B යානය අඩි 29ක දිගින් යුතු වන අතර, සැබෑවට ම අභ්‍යවකාශ ශටලයක් හා සසඳන කල දිස් වන්නේ කුඩාවටයි. ඇමරිකා එක්සත් ජනපදයේ ගුවන් හමුදාව වෙනුවෙන් මෙය තනා ඇත්තේ Boeing සමාගමයි.

X-37B යානයේ මෙහෙයුම් පිළිබඳ තොරතුරු මින් පෙර රහසක් ලෙස තබාගැනුණත්, මෙවර යම් පාරදෘශ්‍යතාවයකින් යුතු ව වැඩි තොරතුරු ප්‍රමාණයක් මහජනතාවට නිරාවරණය කිරීමට ඇමරිකානු හමුදාව පියවර ගෙන තිබුණා. ඒ මෙවර මෙහෙයුමෙන් සිදු කෙරන පරීක්ෂණ දෙකක් අවධාරණයට නංවමින්. එනම් වැඩිදියුණු කරන ලද ලේසර් සන්නිවේදනය සහ ක්වොන්ටම් යාත්‍රණයයි. මෙම තාක්ෂණය කෙදිනක හෝ ගෝලීය පිහිටුම්කරණ පද්ධතියට (GPS) වඩා හොඳ ආදේශකයක් වනු ඇති බව විශේෂඥ මතයයි.

X-37B යානය භාවිතයට ගැනෙන්නේ 2010 වසරේ සිටයි. මේ වන විට එම මාදිලියේ යානා දෙකක් ඇමරිකානු ගුවන් හමුදාව සතුයි. මේවා දීර්ඝ අභ්‍යවකාශ පියාසැරිවල නිරත වනවා. එක් යානයක් දින 908ක දීර්ඝ කාලයක් කක්ෂයේ සිටීමෙන් අනතුරු ව 2022 වසරේ පොළොවට පැමිණි අතර, අනෙක දින 434ක පියාසැරියක් නිමා කරමින් මේ වසර මුල දී ගොඩබසිනු ලැබුණා.

නිම්නා අමරසේකර

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications