Home Science News අඟහරු කක්ෂයේ සිට ඇට්ලස් නිරීක්ෂණයට සියලු කටයුතු සූදානම්

අඟහරු කක්ෂයේ සිට ඇට්ලස් නිරීක්ෂණයට සියලු කටයුතු සූදානම්

by Sathya

සෞරග්‍රහ මණ්ඩලය හරහා යන තුන්වැනි අන්තර්තාරීය වස්තුව වන 3I/ATLAS අධ්‍යයනය කිරීම සඳහා හමි වන අද්විතීය අවස්ථාවක් සඳහා යුරෝපානු අභ්‍යවකාශ නියෝජිතායතන (ESA) සූදානම් වෙමින් සිටිනවා.

2025 ජුලි 01 දා හඳුනාගැනුණු ධූමකේතුවක් බවට විශ්වාස කෙරෙන මෙම වස්තුව තවත් මාසයක කාලය ඇතුළත අඟහරුගේ කක්ෂය පසුකර යාමට නියමිතයි. විද්‍යාඥයන් නිගමනය කර ඇති පරිදි විද්‍යාත්මක ව උපරිම නිරවද්‍යතාවයකින් සහ සුපැහැදිලිතාවකින් යුතු ව මේ වස්තුව නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබෙන්නේ පෘථිවිය මත සිට නොව අඟහරු සිටයි. තවත් මාසයක කාලයකින් මෙය අඟහරුට කිලෝමීටර මිලියන 30ක් තරම් ආසන්නයෙන් ගමන් කිරීමට නියමිත අතර පෘථිවියට සමීප ම අවස්ථාවේ පවා එය පවතිනු ඇත්තේ අපගෙන් කිලෝමීටර මිලියන 200ක් දුරින්. එහි අදහස නම් ඇට්ලස් නිරීක්ෂණය කි⁣රීමට වඩාත් යෝග්‍ය වන්නේ අඟහරු වටා කක්ෂයේ පවතින යානා උපයෝගී කරගනිමින් ය යන්නයි.

ඒ අනුව අඟහරු කක්ෂයේ පවතින සිය යානා මඟින් මෙම අන්තර්තාරීය අමුත්තා නිරීක්ෂණය කිරීමට කටයුතු සම්පාදනය වෙමින් පවතින බව ESA හි අඟහරු කක්ෂගත යානා මෙහෙයුම්වල ව්‍යාපෘති විද්‍යාඥ කොලින් ෆ්‍රෑන්ක් විල්සන් තහවුරු කර තිබෙනවා.

“අපට තහවුරු කළ හැකියි, 3I/Atlas ග්‍රහකය රතු ග්‍රහයාට ආසන්න ම පිහිටීමේ දී, එනම් 2025 ඔක්තෝබර් 3 වන දින, එය නිරීක්ෂණය කිරීමට අපි සැලසුම් කර ඇති බව,” විල්සන් පවසනවා. “මෙම දිනයේ දී, එම වස්තුව අඟහරු ග්‍රහයාගෙන් ආසන්න වශයෙන් කිලෝමීටර් මිලියන 30ක දුරකින් පිහිටා තිබෙනු ඇති.”

සිය Mars Express සහ ExoMars Trace Gas Orbiter (TGO) යානා දෙක ම භාවිත කරමින් ESA නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතයි.

“අපි Mars Express හි ඇති අධි විභේදන ස්ටීරියෝ කැමරාව (HRSC) සහ TGO හි ඇති වර්ණ සහ ස්ටීරියෝ පෘෂ්ඨ ඡායාරූපණ පද්ධතිය (CaSSIS) යොදා ගනිමින් එම වස්තුවේ ඡායාරූප ලබා ගැනීමට උත්සාහ කරනවා,” විල්සන් සඳහන් කරනවා.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications