ඇට්ලස් අඟහරු යානාවල නිරීක්ෂණයට ලක් වෙයි

යුරෝපීය අභ්‍යවකාශ නියෝජිතායතනයේ (ESA) අඟහරු ගවේෂණ යානයක් සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වූ අන්තර්තාරීය ධූමකේතුවක් වන 3I/ATLAS නිරීක්ෂණයට ලක් කිරීමට සමත් වුණා.

ඔක්තෝබර් 3 වන දින 3I/ATLAS අඟහරු ග්‍රහයාගේ සිට සැතපුම් මිලියන 19 (කිලෝමීටර් මිලියන 30) ක දුරකින් ගමන් කළා. යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සියට අයත් (ESA) ExoMars Trace Gas Orbiter (TGO) යානයේ ඇති Colour and Stereo Surface Imaging System (CaSSIS) කැමරාව භාවිතයෙන් මෙම ආගන්තුකයාගේ සමීප රූප ලබා ගැනීමට සූදානම්ව සිටියා.

​”මෙය උපකරණයට ඉතා අභියෝගාත්මක නිරීක්ෂණයක් වුණා” යැයි CaSSIS ප්‍රධාන විමර්ශක නික් තෝමස් අඟහරුවාදා (ඔක්තෝබර් 7) ESA විසින් නිකුත් කරන ලද නිවේදනය ඔස්සේ පවසා සිටියා. “සාමාන්‍යයෙන් අප නිරීක්ෂණය කරන ඉලක්කයට (එනම් අඟහරු පෘෂ්ටයට) වඩා ධූමකේතුව 10,000 සිට 100,000 ගුණයකින් පමණ අඳුරුයි.”

3I/ATLAS පසුගිය ජූලි මාසයේ දී චිලියේ රියෝ හුර්ටාඩෝ හි පිහිටි ක්ෂුද්‍ර ග්‍රහලෝක භෞමික බලපෑම් අවසාන අනතුරු ඇඟවීමේ පද්ධතිය හෙවත් ATLAS දුරේක්ෂය මඟින් සොයාගනු ලැබුණා. එහි නමේ ඇති “3I” යන්නෙන් අදහස් කරන්නේ මෙය, 2017 දී 1I/’Oumuamua සහ 2019 දී 2I/Borisov ට පසුව අපගේ සෞරග්‍රහ මණ්ඩලය පැමිණි තෙවැනි තහවුරු කරන ලද අන්තර්තාරීය වස්තුව බවයි.

සාමාන්‍යයෙන් ධූමකේතුවක කෝමාවෙන් විසිර යන දුහුවිලි අංශු හිරුට ප්‍රතිවරුද්ධ දෙසට දිගු වල්ගයක් නිර්මාණය කළත් මෙහි දී වල්ගය නිරීක්ෂණය කිරීම අපහසු වන්නේ එය කෝමාවට සාපේක්ෂව අඩු දීප්තියකින් යුතු වීම මෙන් ම සහ කෝමාවේ ලක්ෂණ ද ඡායාරූපයේ ඝෝෂාව සමඟ මිශ්‍ර වීම ආදිය හේතු කොටගෙනයි.

NASA ආයතනයට අයත් පර්සවරන්ස් අඟහරු ගවේෂණ රෝවරව සතු Right Navigation Camera හෙවත් Navcam මඟින් ගැනුණු ඡායාරූපයක ද අඟහරුට ඉහළින් ගමන් කරන ආලෝක පුංජයක් සලකුණු වී තිබෙනවා. ESA දත්තවලට අනුව මේ ඡායාරූපය ලබාගැනුණු දිනය සහ ATLAS ගේ සමීප පියාසැරිය සිදු වූ දිනය සැසඳෙනවා. කෙසේ නමුත් මේ වන තුරු NASA ආයතනය හෝ රෝවරය ගොඩනඟන ලද ජෙට් ප්‍රචාලන පර්යේෂණාගාරය හෝ මේ බව තහවුරු කර තිබණේ නැහැ.

සෞන්දර්ය සෙනරත්

 

 

 

Related posts

ඇට්ලස් දැවැන්ත ජල පරිමාවක් මුදාහරී

චෙක් ජනරජයෙන් කෙල්ටික් ලෝහ කාසි විශාල ප්‍රමාණයක් සොයාගැනේ

2025 නොබෙල් ත්‍යාගය – රසායන විද්‍යා