ගෝලීය භූගත දිලීර ජාලයේ සිතියමක් එළිදැක්වේ

පෘථිවි පෘෂ්ඨයට යටින් පවතින, ශාක ජීවිතය පවත්වා ගෙන යාමට සහ දේශගුණය නියාමනය කිරීමට උපකාරී වන අතිවිශාල භූගත දිලීර ජාලයන්හි සැබෑ ප්‍රමාණය සහ ව්‍යාප්තිය පිළිබඳව ප්‍රථම වතාවට සකස් කළ ගෝලීය සිතියමක් ප්‍රමුඛ පෙළේ ‘Science’ සඟරාව මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම නවතම අධ්‍යයනයට අනුව, පෘථිවියේ පස යට ඇති මෙම භූගත දිලීර ජාලය කොතරම් විශාලද යත්, එය එකකට එකක් ඈඳුවහොත් පෘථිවියේ සිට සූර්යයා දක්වා දුර මෙන් මිලියන 750 ගුණයකට වඩා වැඩි දුරක් (එනම් කිලෝමීටර ක්වොඩ්‍රිලියන 110ක් පමණ) විහිද යනවා.

‘ආබස්කියුලර් මයිකෝරයිසා’ (Arbuscular mycorrhizal – AM) ලෙස හැඳින්වෙන මෙම දිලීර ජාලය වසර මිලියන 475ක පමණ කාලයක සිට පෘථිවියේ වර්ධනය වෙමින් පවතින අතර, ලොව සමස්ත ශාක විශේෂවලින් 70%කට වඩා වැඩි ප්‍රමාණයක් සමඟ ඒවා අතිශය සමීප සහජීවන සබඳතා පවත්වනවා. ශාක මඟින් නිපදවන කාබන් ලබාගන්නා මෙම දිලීර, ඒ වෙනුවට ශාකවලට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ (විශේෂයෙන් පොස්පරස් සහ නයිට්‍රජන්) සහ ජලය සපයා දෙනවා.

පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි, මෙම දිලීර ජාලය සෑම වසරක ම කාබන්ඩයොක්සයිඩ් ටොන් බිලියන 4ක් පමණ පස තුළ ගබඩා කිරීමට දායක වනවා. මෙය මිනිසා විසින් වායුගෝලයට මුදාහරින සමස්ත කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයෙන් 11%කට සමාන අගයක්. එමෙන් ම, මෙම දිලීර ජාලයේ මුළු ස්කන්ධය කාබන් මෙගාටොන් 300ක් පමණ වන අතර, එය පෘථිවියේ වෙසෙන සමස්ත මිනිසුන්ගේ බර මෙන් සිව් ගුණයක සිට සය ගුණයක් පමණ වනවා.

Society for the Protection of Underground Networks – SPUN ඇතුළු ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් එක් ව මෙම ඓතිහාසික අධ්‍යයනය සිදු කර තිබෙනවා. ඒ ලොව පුරා ලබාගත් පාංශු සාම්පල 16,000කට වඩා වැඩි ප්‍රමාණයක් සහ රොබෝ තාක්ෂණය යොදාගනිමින් ලබාගත් දත්ත, දියුණු යන්ත්‍ර ඉගෙනුම් ආකෘති හරහා විශ්ලේෂණය කරමින්.

“තේ හැන්දක ප්‍රමාණයේ පස් ස්වල්පයක් තුළ මීටර් 10ක් පමණ දිගැති මයිකෝරයිසා දිලීර ජාලයක් අඩංගු විය හැකියි,” යනුවෙන් මෙම අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘ, වෛද්‍ය ජස්ටින් ස්ටුවර්ට් ප්‍රකාශ කරනවා.

මෙම ජීවදායක යටිතල පහසුකම් නවීන කෘෂිකාර්මික ක්‍රමවේද හරහා දැඩි තර්ජනයකට ලක් ව ඇති බව අධ්‍යයනයෙන් හෙළි වී තිබෙනවා. විශේෂයෙන් යන්ත්‍ර මඟින් පස පෙරළීම සහ රසායනික පොහොර හා දිලීර නාශක අධික ලෙස භාවිතය හේතුවෙන්, වගාබිම්වල ඇති දිලීර ජාල ඝනත්වය ස්වාභාවික පරිසර පද්ධතිවලට වඩා 47.3% කින් අඩු වී තිබෙනවා.

දිලීර ජාලයන්හි ඝනත්වය අඩුවීම නිසා පසෙහි කාබන් ගබඩා කිරීමේ හැකියාව අවම වන අතර, රසායනික ද්‍රව්‍ය ජල මූලාශ්‍රවලට එකතු වීම වළක්වන ස්වභාවික පෙරහන් පද්ධතිය ද විනාශ වී යන බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. ෆ්ලොරිඩාවේ එවර්ග්ලේඩ්ස් සහ දකුණු සුඩානයේ තෘණ භූමි වැනි ප්‍රදේශවල මෙම දිලීර ජාලයේ ඝනත්වය ඉතා ඉහළ මට්ටමක පැවතුණ ද, ලොව පුරා පවතින සමස්ත දිලීරවලින් 40%ක්ම පිහිටා ඇති තෘණ භූමි නිසි ලෙස සංරක්ෂණය වී නොමැති බව ද පර්යේෂකයෝ පෙන්වා දෙනවා.

අධ්‍යයනයේ සම-කර්තෘවරියක වන ආචාර්ය ටෝබි කියර්ස් පවසන්නේ, භූමියට ඉහළින් ඇති පරිසරය මෙන් ම භූගත දිලීර ප්‍රජාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ද දැඩි අවධානයක් යොමු විය යුතු බවයි. දේශගුණික විපර්යාස අවම කිරීම සහ අනාගත ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම යන දැවැන්ත අභියෝගයන්ට සාර්ථක ව මුහුණ දීමේ දී, පෘථිවියේ මෙම අදෘශ්‍යමාන ජීව ජාලය සුරක්ෂිත කර ගැනීම ලෝකවාසීන්ගේ අනිවාර්ය වගකීමක් බව මෙම පර්යේෂණය මඟින් මනාව පැහැදිලි කෙරෙනවා.

Related posts

බ්‍රිතාන්‍යය 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරයි

Artemis III ගගනගාමීහු නම් කෙරෙති

පිටසක්වළ ජීවීන් පිළිබඳ පුවත් ලොවට හෙළි කරන ආකාරය ගැන නව මාර්ගෝපදේශ මාලාවක්