දකුණු අප්‍රිකානු ගුහා චිත්‍ර පිළිබඳ ජනප්‍රිය අදහස් අභියෝගයට ලක් වෙයි

වසර ගණනාවක් තිස්සේ ජීවාවශේෂ විද්‍යා ක්ෂේත්‍රයේ ඇතැම් පර්යේෂකයන් අතර පැවති අදහසක් වූයේ, දකුණු අප්‍රිකාවේ ස්වදේශික සැන් (San) සහ බසොතෝ (Basotho) ජනතාව ඩයිනෝසර ජීවාවශේෂ හෝ ඔවුන්ගේ පා සලකුණු දැක ඒවා ගුහා චිත්‍ර, ජනප්‍රවාද සහ ගීතවලින් සටහන් කර ඇති බවයි. එහෙත් නව අධ්‍යයනයක් පෙන්වා දෙන්නේ මෙම අදහස් සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂක ඩේවිඩ් විටෙල්සන් විසින් Southern African Humanities ජර්නලයේ පළ කළ නව පර්යේෂණ පත්‍රිකාවකින් මෙම ජනප්‍රිය අදහස් දෙකක් නැවත විමර්ශනයට බඳුන් කර තිබෙනවා.

පළමු අදහස අනුව, 2005 වසරේ දී ඇතැම් පර්යේෂකයන් දකුණු අප්‍රිකාවේ ගල් චිත්‍රයක දැක්වෙන අමුතු රතු හැඩයක් ඩයිනෝසරයකුගේ පා සලකුණක් ලෙස හඳුනාගෙන තිබුණා. ඔවුන් තවදුරටත් යෝජනා කළේ එය ǁKhwai-hemm නම් පුරාවෘත්තමය සත්ත්වයෙකු නිරූපණය කරන බවයි. එහෙත් විටෙල්සන් විසින් සිදු කරන ලද නව විමර්ශනයෙන් හෙළි වූයේ ǁKhwai-hemm යනු ඩයිනෝසරයකු හෝ රාක්ෂයකු නොව, සැන් ජනප්‍රවාදවල සඳහන් වන “වන ගිනි” (veld fire) සංකල්පයක් බවයි. ඊට අදාළ කිසිදු ජනප්‍රවාදයක ඩයිනෝසරයන්, ජීවාවශේෂ හෝ අද්භූත රාක්ෂයන් පිළිබඳ සඳහනක් නොමැති බව ද පර්යේෂකයා පෙන්වා දෙනවා.

දෙවන ප්‍රසිද්ධ අදහස 2024 වසරේ පළ වූ අධ්‍යයනයකින් ඉදිරිපත් වූවක් වුණා. එම අධ්‍යයනයේ සඳහන් වූයේ සැන් චිත්‍ර ශිල්පියෙකු විසින් දීර්ඝ දත් සහිත පුරාවෘත්තමය සත්ත්වයෙකු චිත්‍රයට නැඟූ අතර, එයට ආභාෂය ලබා ඇත්තේ ඩයිසයිනොඩොන්ට් (dicynodont) නම් වඳ වී ගිය සත්ත්ව කාණ්ඩයක ජීවාවශේෂවලින් බවයි.

කෙසේ වෙතත්, මුල් ගල් චිත්‍රය නැවත ඡායාරූපගත කර ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් විශ්ලේෂණය කළ විට, “දත්” ලෙස සැලකූ අංගය ඇත්ත වශයෙන්ම කළු පැහැති වර්ණ තැවරීමක් හෝ පසුව ඇති වූ පැල්ලමක් බව හෙළි ව තිබුණා. එය ඩයිසයිනොඩොන්ට් සත්ත්වයකුගේ දත්වල හැඩයට හෝ පිහිටීමට නො ගැළපෙන බව පර්යේෂණය සඳහන් කරනවා.

විටෙල්සන් පෙන්වා දෙන්නේ සැන් ජනප්‍රවාද හා ගුහා චිත්‍රවල හමුවන “වැසි සත්ත්වයන්” (rain animals) පිළිබඳ කතා හොඳින් ලේඛනගත වී ඇති නමුත්, වඳ වී ගිය දත් සහිත විශාල සත්ත්වයන් පිළිබඳ කිසිදු ජනප්‍රවාදයක් හෝ සාම්ප්‍රදායික කතාවක් නොමැති බවයි.

පර්යේෂකයා අවධාරණය කරන්නේ ස්වදේශික ජනතාව ජීවාවශේෂ දැක නො තිබූ බවක් නොව, නව සාක්ෂි නොමැති ව බටහිර විද්‍යාත්මක අදහස් ඔවුන්ගේ සංස්කෘතිය මත ප්‍රක්ෂේපණය කිරීමේ අවදානම පිළිබඳවයි. වෙනත් සංස්කෘතියක විශ්වාස හා කථා තේරුම් ගැනීමේ දී, ඒවා පිළිබඳ සෘජු සාක්ෂි මත පදනම් වීම අත්‍යවශ්‍ය බව මෙම අධ්‍යයනය යළි යළිත් සිහිපත් කරනවා.

මෙම නව පර්යේෂණය මඟින් දකුණු අප්‍රිකානු ගුහා චිත්‍ර පිළිබඳ ජනප්‍රිය නමුත් ප්‍රමාණවත් සාක්ෂි නොමැති අදහස් කිහිපයක් අභියෝගයට ලක් කරමින්, ස්වදේශික සංස්කෘතික උරුමයන් අර්ථකථනය කිරීමේ දී විද්‍යාත්මක විමර්ශනයේ වැදගත්කම යළි අවධාරණය කරනවා.

Related posts

ඇමරිකාව සඳ වටා යුද ගැටුම් සඳහා සූදානම් විය යුතු බව ට්‍රම්ප්ගේ ඉහළම හමුදා උපදේශක පවසයි

ඇලස්කා මුහුදෙන් නව ස්පොන්ජ් විශේෂ නවයක් සොයාගැනේ

අභ්‍යවකාශයේ අවි රඳවා ඇති බව ඇමරිකාව නිල වශයෙන් පිළිගනියි