සෙල්ෆි ඡායාරූපයකින් පිළිකා දිවි ගලවා ගැනීමේ සම්භාවිතාව පුරෝකථනය කළ හැකි තාක්ෂණයක්

Mass General Brigham ආයතනයේ වෛද්‍යවරුන් සහ විශේෂඥයින් විසින් රෝගියෙකුගේ මුහුණේ එක් සෙල්ෆි ඡායාරූපයක් පමණක් භාවිතයෙන් පිළිකා රෝගයෙන් දිවි ගලවා ගැනීමේ අවදානම පුරෝකථනය කළ හැකි නව කෘත්‍රිම බුද්ධි (AI) මෙවලමක් නිර්මාණය කර තිබෙනවා. විවිධ ජාතීන්ට සහ වයස් කාණ්ඩවලට අයත් මිලියන 40 කට අධික මුහුණු ඡායාරූප යොදා ගනිමින් පුහුණු කර ඇති මෙම නවතම පද්ධතිය පිළිබඳ තොරතුරු ‘The Lancet Digital Health’ ජර්නලයේ පසුගිය දා පළ වුණා.

මෙම තාක්ෂණය පදනම් කරගනිමින් පර්යේෂකයන් ප්‍රධාන මෙවලම් දෙකක් සංවර්ධනය කර තිබෙනවා. ඉන් ‘FAHR-FaceAge’ මෙවලම මගින් රෝගියාගේ ජීව විද්‍යාත්මක වයස, එනම් පුද්ගලයාගේ පෙනුමට අනුව පෙනෙන වයස ගණනය කර දිවි ගලවා ගැනීමේ අවස්ථාවන් පුරෝකථනය කරනු ලබනවා. අනෙක් මෙවලම වන ‘FAHR-FaceSurvival’ මගින් ජීව විද්‍යාත්මක වයස ගණනය කිරීමකින් තොර ව, ඡායාරූපය ඇසුරින් සෘජු ව ම දිවි ගලවා ගැනීමේ සම්භාවිතාව තක්සේරු කරනවා. පර්යේෂණයේ සම-ජ්‍යෙෂ්ඨ කතුවරයෙකු වන හියුගෝ අර්ට්ස් සඳහන් කරන්නේ, සාමාන්‍ය ඡායාරූපයකින් සෘජු ව ම පිළිකා දිවි ගලවා ගැනීමක් පුරෝකථනය කළ හැකි බව AI ආකෘතියක් මඟින් පෙන්වා දුන් ප්‍රථම අවස්ථාව මෙය වන බවයි.

ඇමරිකා එක්සත් ජනපදයේ විකිරණ ප්‍රතිකාර ලැබූ පිළිකා රෝගීන් යොදාගෙන සිදුකළ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ, තමන්ගේ සැබෑ වයසට වඩා වසර 5ක් හෝ ඊට වැඩි වයස්ගත පෙනුමක් ඇති රෝගීන්ගේ මරණ අවදානම 21% කින් වැඩි වන බවයි. එමෙන් ම වසර 5කට වඩා තරුණ පෙනුමක් ඇති අයගේ එම අවදානම 17% කින් අඩු බව තහවුරු වී තිබුණා. මීට අමතර ව අධික ලෙස මත්පැන් පානය, මත්ද්‍රව්‍ය භාවිතය සහ දුම්පානය වැනි ජීවන රටාවන්ට සම්බන්ධ සාධක මුහුණේ වයසට යාම කෙරෙහි සෘජු ව ම බලපාන බව ද සොයාගෙන තිබෙනවා.

Mass General Brigham හි විකිරණ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය රේමන්ඩ් මැක් අවධාරණය කරන්නේ මෙම තාක්ෂණයේ ප්‍රධාන අරමුණ වෛද්‍යවරුන්ගේ තීරණ ප්‍රතිස්ථාපනය කිරීම නො වන බවයි. ඒ වෙනුවට සැත්කම් සහ දැඩි ප්‍රතිකාර සඳහා රෝගියාගේ ශාරීරික යෝග්‍යතාවය කල්තියා තක්සේරු කරමින්, එක් එක් රෝගියාට ගැළපෙන පරිදි වඩාත් නිවැරැදි සහ පුද්ගලාරෝපිත ප්‍රතිකාර තීරණ ගැනීමට වෛද්‍යවරුන්ට උපකාර කිරීම මෙමඟින් බලාපොරොත්තු වනවා.

 

Related posts

අභ්‍යවකාශ ඉතිහාසයේ ප්‍රථම වතාවට ‘කොළ පැහැති තරුවක්’ හමු වෙයි

ලොව පැරණිතම නෞකා සුන්බුන් තුර්කි වෙරළට ඔබ්බෙන් හමු වෙයි

අඳුරු ශක්තියේ අබිරහස විසඳීමට මුල් විශ්වයේ ඇති හයිඩ්‍රජන් ආලෝකය උපකාරී වෙයි