අභ්‍යවකාශ ඉතිහාසයේ ප්‍රථම වතාවට ‘කොළ පැහැති තරුවක්’ හමු වෙයි

පෘථිවියට ආලෝක වර්ෂ 326ක් පමණ දුරින් පිහිටි කොළ පැහැයෙන් බබළන දුර්ලභ ගණයේ තාරකාවක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයින් පිරිසක් සමත් ව තිබෙනවා. තමන් වටා කක්ෂගත වී ඇති ග්‍රහලෝකවල කොටස් ගිල දමන බැවින් මෙය ‘කොස්මික් සොම්බියෙකු’ (Cosmic zombie) ලෙස ද හඳුන්වනු ලබනවා.

RAS Techniques and Instruments ජර්නලයේ ප්‍රකාශයට පත් කළ වාර්තාවකට අනුව, සාමාන්‍යයෙන් තාරකාවල වර්ණය තීරණය වන්නේ ඒවායේ උෂ්ණත්වය මත වුව ද, අතිශය ඝනත්වයෙන් යුත් මෙවැනි ‘සුදු වාමන’ තාරකාවල වර්ණය තීරණය වන්නේ වෙනත් ආකාරයකට බව අනාවරණය වී තිබෙනවා. මියගිය තාරකා තමන් වටා ඇති පාෂාණමය ග්‍රහලෝක ගිල දැමීමේ දී මෙලෙස කොළ, රෝස, කහ සහ දම් වැනි විවිධ වර්ණයන්ගෙන් දිස්විය හැකි බව එමඟින් පෙන්වා දෙනවා.

WD J1330+6435 ලෙස නම් කර ඇති මෙම ප්‍රථම කොළ පැහැති තාරකාව, තම සහායක ග්‍රහලෝකවල පාෂාණමය කොටස් ගිල දැමීම නිසා එහි වායුගෝලයට කැල්සියම්, ලිතියම් සහ සෝඩියම් එකතු වී ඇති බවට විශ්වාස කෙරෙනවා. කෙසේ වෙතත්, එහි ඇති සෝඩියම් මඟින් ආලෝකයේ ඇති තැඹිලි වර්ණය අවශෝෂණය කර ගැනීම හේතුවෙන් තරුවට මෙලෙස අද්භූත කොළ පැහැති දීප්තියක් ලැබී ඇති බව පර්යේෂකයන් පවසනවා.

බ්‍රිතාන්‍යයේ වෝර්වික් විශ්වවිද්‍යාලයේ පර්යේෂක මාර්ක් හොලන්ඩ්ස්ගේ මෙහෙයවීමෙන් මෙම පර්යේෂණය සිදුකර තිබෙනවා.

ආරම්භයේ දී තාරකාවල වර්ණ උෂ්ණත්වය මත පමණක් රඳා පවතින බව සැලකුව ද, මෙම නව අධ්‍යයනයේ දී ආලෝක වර්ෂ 48ක් දුරින් පිහිටි WD J1011+2845 නම් තවත් සුදු වාමන තාරකාවක් ද පර්යේෂකයින් විසින් හඳුනාගෙන තිබෙනවා. එහි අඩංගු කාබන් මූලද්‍රව්‍යය හේතුවෙන් එය වෙනත් කිසිදු තාරකාවක දක්නට නො ලැබෙන තද රෝස පැහැයකින් බබළන බව විද්‍යාඥයින් වැඩිදුර විශ්ලේෂණයන්ගෙන් පසු ව ස්ථිර කරගෙන තිබෙනවා.

වෝර්වික් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ පර්යේෂක බොරිස් ගැන්සික් ප්‍රකාශ කරන්නේ, අසාමාන්‍ය වර්ණ සහිත මෙවැනි සුදු වාමන තාරකා ඉතා දුර්ලභ වන අතර, සමස්තයක් ලෙස ගත් කල මෙවැනි අසාමාන්‍ය වර්ණයක් ගන්නේ සුදු වාමන තාරකා 30කින් එකක් පමණක් බවයි.

මෙවැනි ම අපූර්ව තාරකා විශ්වය පුරා විසිරී පැවතිය හැකි බැවින්, ඉදිරියේ දී තාරකාවල රසායනික සංයුතිය සහ මියගිය තාරකාවල හැසිරීම් රටාවන් පිළිබඳ ව තේරුම් ගැනීමට මෙය ඉතා වැදගත් සාධකයක් වනවා.

Related posts

ලොව පැරණිතම නෞකා සුන්බුන් තුර්කි වෙරළට ඔබ්බෙන් හමු වෙයි

අඳුරු ශක්තියේ අබිරහස විසඳීමට මුල් විශ්වයේ ඇති හයිඩ්‍රජන් ආලෝකය උපකාරී වෙයි

සඳ මත භූගත ගුහා සොයන NASA ආයතනයේ නවතම මෙහෙයුම