වොයේජර් 1 අද සවස 3.46ට ආලෝක දිනය පසුකරයි

මිනිසා විසින් නිර්මාණය කරන ලද වස්තුවක් පෘථිවියේ සිට එක් ආලෝක දිනයක දුරක් ගමන් කළ පළමු අවස්ථාව සනිටුහන් කරමින් NASA ආයතනයේ වොයේජර් 1 අභ්‍යවකාශ යානය අද දිනයේ නව ඓතිහාසික සංධිස්ථානයකට ළඟා වනවා. එය මෙරට වේලාවෙන් අද පස්වරු 3.46ට පෘථිවියේ සිට ආලෝක දිනයක දුර සීමාව පසු කිරීමට නියමිතයි.

එක් ආලෝක දිනයක් යනු ආලෝකය තත්පරයකට කිලෝමීටර් 299,792ක වේගයෙන් පැය 24ක් තුළ ගමන් කරන කිලෝමීටර් බිලියන 25.9ක දුර ප්‍රමාණයයි. NASA ගණනය කිරීම් අනුව වොයේජර් 1 යානය 2026 නොවැම්බර් 18 එනම් අද දින නැගෙනහිර වේලාවෙන් පෙරවරු 5.16ට මේ දුර සීමාව පසු කිරීමට නියමිතයි. මෙරට වේලාවෙන් එය සිදුවන්නේ පස්වරු 3.46ටයි.

1977 සැප්තැම්බර් 5 වැනි දා අභ්‍යවකාශගත කරන ලද වොයේජර් 1 යානය, වසර 49කට ආසන්න කාලයක් පුරා අභ්‍යවකාශයේ ගමන් කරමින් සිටින අතර, එය 2012 වසරේ දී සූර්යගෝලයේ සීමාව පසුකර අන්තර්තාරීය අවකාශයට පිවිසුණු පළමු මානව නිර්මාණය බවට ද පත්වුණා.

වොයේජර් 1 යානය මුලින් ම නිර්මාණය කරන ලද්දේ බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහලෝක අධ්‍යයනය කිරීම සඳහා ය. එහි ගමන අතරතුර එම ග්‍රහලෝකවල සහ ඒවායේ චන්ද්‍රයන්ගේ සුවිශේෂී ඡායාරූප හා විද්‍යාත්මක දත්ත රැසක් පෘථිවියට එවීමට එය සමත් වුණා.

විශේෂයෙන්ම සෙනසුරු ග්‍රහයාගේ චන්ද්‍රයකු වන ටයිටන් පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව යානය සූර්යයාගේ සිට පිටතට යන ගමන ආරම්භ කළා. අද වන විට එය පෘථිවියේ සිට වැඩිම දුරක් ගමන් කර ඇති මානව නිර්මාණය බවට පත් ව තිබෙනවා.

මේ අනුව යානය ආලෝක දිනයක දුර සීමාවට ළං ව ඇති බැවින් මේ වන විට එය වෙත යවන සංඥා එය විසින් ග්‍රහණය කරගනු ලබන්නේ පැය 24ක පමාවකට පසුවයි. එසේ ම එයට ප්‍රතිචාර වශයෙන් යානය යම් සංඥාවක් එවන්නේ නම් එය ද පෘථිවියට පැමිණෙන්නේ තවත් පැය 24ක කාලයකට පසුවයි.

Related posts

විශ්වයේ ආරම්භක යුගයෙන් හමුවූ පැරණිතම ක්වේසාර් යුගලය

Starship යානයේ ඉහළ කොටස පළමු වරට අල්ලා ගැනීමට SpaceX සමත් වෙයි

ආලෝක දිනය පසු කරන වොයේජර් වෙනුවෙන් ආලෝක සංඥාවක් නිකුත් කිරීමට NASA ලොව වටා ජනතාවට ඇරයුම් කරයි