Science News IPCC දේශගුණ වාර්තාව ප්‍රමාද කිරීම ගැන විද්‍යාඥයෝ අනතුරු අඟවති SathyaNovember 20, 202603 views දේශගුණ විපර්යාස පිළිබඳ ලොව ප්‍රමුඛතම විද්‍යාත්මක ඇගයීමක් වන අන්තර් රාජ්‍ය දේශගුණික විපර්යාස පිළිබඳ කමිටුවේ (Intergovernmental Panel on Climate Change – IPCC) මීළඟ ප්‍රධාන වාර්තාව ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාදයට ලක් වෙමින් පැවතීම, දේශගුණ අර්බුදයට එරෙහි ගෝලීය ක්‍රියාමාර්ග දුර්වල කිරීමට හේතු විය හැකි බවට විද්‍යාඥයන් අනතුරු අඟවනවා. IPCC හි හත්වැනි ඇගයීම් වාර්තාව (Seventh Assessment Report – AR7) 2028 වසරේ දී ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබූ අතර, එය එම වසරේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුවට පෙර ලබාගැනීම අරමුණ වී තිබුණා. එහෙත් රටවල් කිහිපයක් මෙම වාර්තාව 2029 වසර දක්වා හෝ ඊටත් එහා කලකට ප්‍රමාද කරන ලෙස ඉල්ලීම ඉදිරිපත් කිරීමත් සමඟ ඒ පිළිබඳ මතභේදයක් හටගෙන තිබෙනවා. පොට්ස්ඩෑම් දේශගුණික බලපෑම් පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ මහාචාර්ය ජොහාන් රොක්ස්ට්‍රෝම් පෙන්වා දෙන්නේ මෙම ප්‍රමාදය දේශගුණික විපර්යාසවලට එරෙහි ව රටවල් අතර පවතින සහයෝගීතාවට මෙන්ම පැරිස් දේශගුණ ගිවිසුමේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට ද අහිතකර බලපෑම් එල්ල කළ හැකි බවයි. සෞදි අරාබිය, රුසියාව, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් IPCC වාර්තාවේ කාලසටහන ප්‍රමාද කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා. දේශගුණික විද්‍යාත්මක පර්යේෂණ හා ඇගයීම් ක්‍රියාවලිය තුළ සංවර්ධිත රටවලට වැඩි ආධිපත්‍යයක් හිමි ව ඇති බවත්, සංවර්ධනය වෙමින් පවතින රටවල අදහස් හා විද්‍යාත්මක දායකත්වය ප්‍රමාණවත් ලෙස නියෝජනය නො වන බවත් ඔවුන්ගේ තර්කයයි. දේශගුණික විපර්යාස පිළිබඳ විද්‍යාත්මක ආකෘති නිර්මාණය සහ ඇතැම් විමර්ශනවල දී සංවර්ධිත රටවල පර්යේෂණ වැඩි වශයෙන් භාවිත කිරීම හේතුවෙන්, සංවර්ධනය වෙමින් පවතින රටවලට අදාළ කරුණු හා අභියෝග නිසි ලෙස නිරූපණය නොවන බවට ද විවේචන එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත්, වාර්තාව ප්‍රමාද කිරීමෙන් මෙම ගැටලු විසඳීමට හැකි වේ ද යන්න පිළිබඳව තවත් විද්‍යාඥයන් සැක පළ කරනවා. වාර්තාවට ඇතුළත් කිරීමට නියමිත විද්‍යාත්මක පර්යේෂණවලින් බොහොමයක් මේ වන විටත් ප්‍රකාශයට පත් වී ඇති අතර, ඒවා ඇගයීමේ ක්‍රියාවලිය ද සිදු වෙමින් පවතින බැවින් ප්‍රමාදයකින් පමණක් නව පර්යේෂණ දායකත්වයක් පුළුල් ලෙස ලබාගැනීම අපහසු විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා. 2028 වසරේ දී පැවැත්වීමට නියමිත ගෝලීය දේශගුණික ප්‍රගති සමාලෝචනය මඟින් පැරිස් ගිවිසුමේ අරමුණු වෙනුවෙන් රටවල් ඉදිරිපත් කර ඇති සැලසුම් හා ක්‍රියාමාර්ගවල ප්‍රගතිය ඇගයීමට නියමිතයි. ඒ සඳහා IPCC හි නවතම විද්‍යාත්මක ඇගයීම ඉතා වැදගත් පදනමක් වනු ඇති බව විද්වත් මතයයි. පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් අංශක 1.5 සීමාවට හැකි තරම් ආසන්නව පාලනය කිරීම පැරිස් ගිවිසුමේ ප්‍රධාන අරමුණක් වන අතර, ඒ වෙනුවෙන් රටවල් සිය විමෝචන අඩු කිරීමේ ඉලක්ක තවදුරටත් ශක්තිමත් කළ යුතු වනවා. එම තීරණ ගැනීම සඳහා නවතම විද්‍යාත්මක සාක්ෂි අත්‍යවශ්‍ය වනවා. එහෙත් IPCC වාර්තාව ප්‍රමාද වුවහොත්, රටවල් විසින් නව දේශගුණ ප්‍රතිඥා හා ප්‍රතිපත්ති සකස් කිරීමේදී එහි විද්‍යාත්මක නිගමන භාවිත කිරීමට ඇති අවස්ථාව සීමා විය හැකි බවටයි විශේෂඥයන් බිය පළ කරන්නේ. IPCC යනු ලොව පුරා විද්‍යාත්මක පර්යේෂණ ඇගයීම මඟින් දේශගුණ විපර්යාස පිළිබඳ රජයන්ට තීරණ ගැනීම සඳහා විද්‍යාත්මක පදනමක් සපයන එක්සත් ජාතීන්ගේ ආයතනයක්. එහි වාර්තා දේශගුණික ප්‍රතිපත්ති සකස් කිරීම, විමෝචන අඩු කිරීමේ සැලසුම් සහ ගෝලීය සාකච්ඡා සඳහා ප්‍රධාන දායකත්වයක් සපයනවා. දේශගුණික විපර්යාසවල බලපෑම් දැනටමත් ලොව පුරා තාප තරංග, නියඟ, ගංවතුර සහ දැඩි කාලගුණ තත්ත්වයන් ලෙස වඩාත් පැහැදිලිව දක්නට ලැබෙන පසුබිමක, එම අර්බුදයට මුහුණ දීම සඳහා අවශ්‍ය විද්‍යාත්මක දැනුම හා දේශපාලන තීරණ ගැනීම තවදුරටත් ප්‍රමාද නො කළ යුතු බවටයි විද්‍යාඥයන් අවධාරණය කරන්නේ.