ජපානයේ වෙරළබද නගරයක් වන හමමට්සුහි එන්ෂුහමා (Enshuhama) වෙරළ තීරයට නිෂ්චිත ව කුමක් දැයි නිගමනය කළ නො හැකි විශාල ලෝහමය ගෝලයක් ගොඩ ගසා තිබෙනවා. එය මුල් වරට දැක ඇත්තේ වෙරළ තීරය මත ඇවිදිමින් සිටි පුද්ගලයෙකු විසිනුයි. ඔහු විසින් කරන ලද දැනුම් දීමකට අනුව පොලීසිය ද මේ පිළිබඳ සැලකිලිමත් වුණා.
බලධාරීන් විසින් වහා ම බෝම්බ නිශ්ක්‍රීයකරණ බලඇණියක් එහි යැවූ අතර ගෝලයේ සිට මීටර 200 ක අරයක් සහිත වපසරිය තහනම් කලාපයක් ලෙස නම් කෙරුණා. ඔවුන් කළ එක්ස් කිරණ ආවේක්ෂණයකින් තහවුරු කරගත හැකි වූයේ ගෝලයේ අභ්‍යන්තරය හිස් බවයි. මළ බැඳීම නිසා ලා තැඹිලි පැහැයකින් යුතු වූ මෙය ප්‍රමාණයෙන් මීටර 1.5 ක පමණ විශ්කම්භයකින් යුක්තයි.
ශරීර සුවතාව වෙනුවෙන් දිනපතා වෙරළ තීරය මත දිව යන පුද්ගලයෙකු NHK නාලිකාවට පවසා තිබුණේ මේ ගෝලය එහි පැමිණ තිබුණේ තරමක කාලයකට ඉහිත දී බවයි. ආරක්ෂක අංශවලත්, මාධ්‍යවේදීන් අතරත් එක්වර ම ඇති වූ කලබගෑනිය නිසා තමන් වික්ශිප්ත ව සිටින බව ඔහු පවසා තිබුණා.
බලධාරීන් පවසන්නේ මෙය හැකි ඉක්මනින් ඉවත් කරගෙන යාමට කටයුතු කරන බවයි.
පසුගිය සති කිහිපයේ ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාව හඳුනා නො ගත් පියාසර වස්තූන් තුනක් බිම හෙළන්නට සමත් වුණා. ඒ සමග අලුත් වී ඇති අබිරහස්‍යමය කතිකාවත් නිසා මෙවැනි අමුතු යමක දර්ශනය වීමක් යමෙකු බොහෝ සෙයින් කලබලයට පත් කරන්නට සමත් විය හැකියි.
ගෝලයේ මතුපිටින් ලෝහමය හැඬල දෙකක් ද තිබෙන බව නිරීක්ෂණය වී තිබෙන්නේ එය තවත් කුමකට හෝ සම්බන්ධ වී තිබෙන්නට ඇති බව හඟවමින්.
ජපාන පොලීසිය විසින් මේ වන විට ගෝලයගයෙන් තර්ජනයක් නොමැති බව තහවුරු කරගෙන තිබෙනවා. නමුත් එය කුමක් දැයි නිශ්චිත ව හඳුනා ගන්නට මෙතෙක් ඔවුන් සමත් වී නැහැ.
අවට ප්‍රදේශවාසීන් අතර මෙය “ගොඩ්සිලා බිත්තරයක්”, “මකර බිත්තරයක්” මෙන් ම “පිටසක්වළින් ආ යමක්” ආදී වශයෙන් විවිධ කටකතා මතු ව තිබෙන බව ද වාර්තා වනවා. එසේ ම චීනය විසින් එවන ලද ඔත්තු බලන බැලූනයක කොටසක් විය හැකි බවටත් ඇතැමුන් තර්ක කරනවා.
කෙසේ නමුත් වැඩි ඉඩක් ඇත්තේ මෙය බෝයාවක කැඩී ගිය කොටසක් වීමටයි. ජලය මත පා වන ලෙස සකසන බෝයාවන් නො ගැඹුරු මුහුදේ දී නෞකාවලට යාත්‍රණය පහසුවෙන් ඉටු කරගන්නට පහසුව සලසනවා.
NHK සහ BBC ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි