Science News එක්සත් රාජධානිය දළ ආනයනය පිළිබඳ නීති දැඩි කරයි SathyaMay 24, 2023022 views නව නීති සම්පාදනයක් මඟින් හිපපොටේමසුන්ගේ, මිනීමරු තල්මහගේ සහ වොල්රස් සතුන්ගේ දළ ආනයනය කිරීම සපුරා තහනම් කිරීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබෙනවා. 2018 දී සම්මත කරගත් Ivory Act හෙවත් “දළ පනත” මුළුමනින් ම පාහේ කේන්ද්‍රගත වුණේ අලි ඇතුන් වෙතයි. නමුත් දත් වෙළඳාම හේතුවෙන් දඩයමට ලක් වන්නේ අලි ඇතුන් පමණක් නොවෙයි. හිපපොටේමස් ඇතුළු තවත් සත්ත්ව විශේෂ ගණනාවකගේ දළ අළෙවියට සහ ආනයනයට එරෙහි ව යන්නට ඒ පනත ප්‍රමාණවත් වුණේ නැහැ. 2018 දී මේ පනත එය ද සම්මත කරගත්තේ අභියෝග රැසකට මුහුණ දෙමින්. කිපුණු ඓතිහාසික වටිනාකමකින් යුත් භාණ්ඩ අළෙවියේ යෙදෙන වෘත්තිකයන් බ්‍රිතාන්‍ය රජයට එරෙහි ව නඩු දමන්නට පවා කටයුතු කළා. නමුත් ඒ පටු සංකල්පනා සාර්ථක නො වීම වාසනාවක්. හස්තීන් හැරුණුවිට දළ ලබාගැනීම සඳහා ප්‍රමුඛ වශයෙන් දඩයමට ලක් වන්නේ හිපෝ සත්ත්වයින්. එසේ ම ඔර්කා නමින් ද හැඳින්වෙන මිනීමරු තල්මහ සහ ආක්ටික් සහ පැසිෆික් සාගර කලාපවල ජීවත් වන විශාල සිරුරකට සහ පහළට නෙරා තිබෙන දිගු දළ දෙකකට හිමිකම් කියන වොල්රස් නම් ක්ෂීරපායීයා ද දඩයමට ලක් වනවා. දළ පනත සංශෝධනය කරමින් ඉහත සඳහන් සත්ත්වයින්ගේ දළ සහ ආශ්‍රිත නිෂ්පාදන ආනයනය ද තහනම් ලයිස්තුවට එකතු කර තිබෙන්නේ ඒ කරුණු සැලකිල්ලට ගෙනයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක මෙන් ම පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු දෙපාර්තමේන්තුවේ (DEFRA) ජෛවවිවිධත්වය පිළිබඳ අමාත්‍යවරිය ද වන ටෲඩි හැරිසන් පෙන්වා දෙන්නේ Ivory Act පනත ලොව පවතින සමාන පනත් අතුරින් දැඩි ම නීති සම්පාදනය බවයි. “එක්සත් රාජධානිය සංරක්ෂණය වෙනුවෙන් ඉදිරියෙන් ම පෙනී සිටිනවා. ඒ වගේ ම අපේ තහනම මඟින් ලෝකයේ දැඩි වඳවීමේ තර්ජනයකට මුහුණ පා සිටින සතුන් රැකගැනීම වෙනුවෙන් අපට කළ හැකි උපරිමය කරමින් ලෝකයට ම නායකත්වයක් සපයනවා” ඇය සඳහන් කරනවා. The Guardian ඇසුරෙනි. සෞන්දර්ය සෙනරත්