එක් වර වැඩි ම ගගනගාමීන් සංඛ්‍යාවක් කක්ෂගත ව සිටීමේ වාර්තාව අලුත් වෙයි

ඉකුත් 30 වැනි දා කෙටි කාල සීමාවක් තුළ කක්ෂයකට පිවිසී සිටින ගගනගාමීන් සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගියා. ඒ 17 දෙනා අතර රටවල් පහක නියෝජනයන් ඇතුළත් ව තිබුණා.

ගගනගාමීන් සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගියේ ඉකුත් මැයි 29 දා චීනයේ සිට ඉහළ නැඟුණු ගගනගාමීන් තිදෙනෙකුගෙන් සමන්විත Shenzhou 16 මෙහෙයුමත් සමගයි.

ඒ අනුව ඊයේ දිනය වන විට අභ්‍යවකාශයේ සක්‍රීය ව පැවැති සම්පූර්ණ මෙහෙයුම් සහ ඒවාට අනුයුක්ත ගගනගාමීන් පහත පරිදි පෙළගැස්විය හැකියි.

  • Shenzhou 16 – චීන ගගනගාමීන් වන Jing Haipeng, Zhu Yangzhu සහ Gui Haichao චීනයට අයත් Tiangong අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ
  • Shenzhou 15 – චීන ගගනගාමීන් වන Fei Junlong, Deng Qingming සහ Zhang Lu Tiangong අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ
  • Expedition 69 – රොස්කොස්මොස් විශ්වගාමී Sergey Prokopyev, Dmitry Petelin, Andrey Fedyaev සහ නාසා ගගනගාමී Frank Rubio, Stephen Bowen, Warren “Woody” Hoburg සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගගනගාමී Sultan AlNeyadi ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ
  • Axiom-2 – ඇත්සියම් ස්පේස් ගගනගාමී Peggy Whitson, මුදල් ගෙවා පියාසර කරන John Shoffner සහ සෞදි අරාබියානු ගගනගාමීන් වන Ali AlQarni හා Rayyanah Barnawi ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ

අහම්බයකින් මෙන් Axiom-2 මෙහෙයුමේ ගගනගාමීන් අතර පෘථිවි කක්ෂයක් වෙත ඇතුළු වන 600 වැනි ගගනගාමියා ද ඇතුළත් වුණා. ඒ එහි මෙහෙයුම් විශේෂඥයා වශයෙන් කටයුතු කරන Rayyanah Barnawi ගගනගාමිනියයි. එසේ ම අභ්‍යවකාශය තරණය කළ ප්‍රථම සෞදි කාන්තාව වන්නේ ද ඇයයි.

මීට පෙර වැඩි ම පිරිසක් පෘථිවි කක්ෂයක සිටීමේ වාර්තාව අලුත් වූයේ 2021 වසරේ දී යි. ඒ ගගනගාමීන් 14 දෙනෙකු සමඟින්.

Axiom-2 මෙහෙයුම නිමා කරමින් එයට අනුයුක්ත ගගනගාමීන් සිව් දෙනා රැගත් SpaceX Dragon කැප්සියුලය පෙරේදා රාත්‍රියේ දී ෆ්ලොරීඩා වෙරළ තීරයට ඔබ්බෙන් මුහුද මතට පහත් වුණා. ඒත් සමගම කක්ෂගත ව සිටින මුළු ගගනගාමීන් සංඛ්‍යාව 13 ක් දක්වා අඩු කරමින්.

Space.com ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Related posts

කෝලාවුන් වඳ වීමෙන් බේරා ගැනීමට නව සංරක්ෂණ පියවරක්

අභ්‍යවකාශයේ දී ලබාගත් ප්‍රථම වෛද්‍ය විද්‍යාත්මක එක්ස්-කිරණ ඡායාරූප

ඔස්ට්‍රේලියානු වෙරළට ගොඩගැසූ අද්භූත ලෝහමය ගෝල රොකට් සුන්බුන් බවට සැක කෙරේ