Science News එක්සත් ජනපද අභ්‍යවකාශ බලකාය සතු චන්ද්‍රිකා අක්‍රිය කළ හැකි නවතම විද්‍යුත් චුම්භක අවිය SathyaJuly 14, 2026012 views එක්සත් ජනපද අභ්‍යවකාශ බලකාය හෙවත් U.S. Space Force විසින් සිය ප්‍රථම ප්‍රහාරක අවියක් ලෙස සැලකෙන නවතම විද්‍යුත් චුම්භක අවියක් අත්පත් කරගෙන තිබෙනවා. Meadowlands ලෙස නම් කර ඇති මෙම නව පද්ධතිය මඟින් සතුරු චන්ද්‍රිකා වෙත විද්‍යුත් චුම්භක විකිරණ ධාරා නිකුත් කර, ඒවායේ සංඥා අඩාල කිරීමේ හැකියාව පවතිනවා. මෙහි ඇති ප්‍රධානතම විශේෂත්වය වන්නේ, ඉලක්කගත චන්ද්‍රිකාවලට කිසිදු භෞතික හානියක් හෝ ස්ථිර විනාශයක් සිදු නො කර ඒවා අක්‍රිය තත්ත්වයට පත් කිරීමට මෙමඟින් හැකියාව ලැබීමයි. L3 Harris සමාගම විසින් සංවර්ධනය කරන ලද මෙම අවිය, සතුරන්ට අයත් රේඩියෝ තරංග වැනි විද්‍යුත් චුම්භක වර්ණාවලි භාවිතයට බාධා පැමිණවීම හෝ එය අවහිර කිරීම අරමුණු කරගත් අති නවීන විද්‍යුත් චුම්භක යුධ පද්ධතියක් ලෙස භාවිත කළ හැකියි. මෙමඟින් සතුරු චන්ද්‍රිකා සම්පූර්ණයෙන් ම පාහේ නිහඬ කළ හැකි අතර, ඒ හරහා අදාළ චන්ද්‍රිකා සහ ගොඩබිම සිටින සතුරු බලකායන් අතර දත්ත හුවමාරු කිරීම මෙන් ම සන්නිවේදන කටයුතු මුළුමනින් ම වළකාලිය හැකියි. අභ්‍යවකාශ බලකාය පෙන්වා දෙන පරිදි, මෙම ප්‍රහාරය හරහා සිදු වන්නේ චන්ද්‍රිකාවලට සම්ප්‍රේෂණය වන සංඥා තාවකාලික ව අවහිර කිරීමක් හෙවත් නැවත යථා තත්ත්වයට පත් කළ හැකි බලපෑමක් පමණයි. නිල නිවේදනයකට අනුව, අභ්‍යවකාශ බලකාය මෙම ‘මීඩෝලන්ඩ්ස්’ පද්ධතිය හඳුන්වා දෙන්නේ එක්සත් ජනපද හමුදාවට විද්‍යුත් චුම්භක වර්ණාවලිය තුළ සිය අණසක සහ ආධිපත්‍යය තහවුරු කරගැනීම සඳහා ලැබුණු ඉතා ශක්තිමත් මෙවලමක් ලෙසිනුයි. සතුරු චන්ද්‍රිකා ඉහළින් ස්ථානගත කර තිබිය හැකි ඕනෑ ම යුධමය ප්‍රදේශයක පහසුවෙන් ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි මෙය නිර්මාණය කර තිබෙනවා. 2027 මූල්‍ය වර්ෂය තුළ දී මෙම පද්ධතිය තවදුරටත් සංවර්ධනය කිරීම, ඊට අදාළ යටිතල පහසුකම් සහ පුහුණු කටයුතු වෙනුවෙන් එක්සත් ජනපද අභ්‍යවකාශ බලකාය විසින් ඩොලර් මිලියන 460කට ආසන්න වැය ශීර්ෂයක් ද ඉල්ලුම් කර තිබෙනවා. නවීන යුද කටයුතු සඳහා මෙවැනි විද්‍යුත් චුම්භක ප්‍රහාරක පද්ධති, මෘදුකාංග සහ උසස් පුහුණුවීම් කෙරෙහි අඛණ්ඩව ආයෝජනය කිරීම අතිශයින් වැදගත් බව ඊට අදාළ මෙහෙයුම් භාර අණදෙන නිලධාරී කර්නල් ඇන්ජෙලෝ ෆර්නැන්ඩස් අවධාරණය කරනවා. අතීත ගැටුම්වල දී ද මෙවැනි තාක්ෂණයන් සාර්ථකව භාවිත කරමින් සතුරු සන්නිවේදන කටයුතු අඩාල කර තම ගුවන් හමුදාවන්ගේ ආරක්ෂාව තහවුරු කරගැනීමට ඇමෙරිකානු විද්‍යුත් චුම්භක යුධ විශේෂඥයින් සමත් වී ඇති බව අභ්‍යවකාශ බලකාය වැඩිදුරටත් සඳහන් කරනවා.