විදුලි ගුවන් යානයකට FAA අවසර හිමි වෙයි

හෙලිකොප්ටරයක් ලෙස ඉහළට නැඟීමට සහ ගොඩබෑමට හැකි විද්‍යුත් ගුවන්යානයක පරීක්ෂණ පියාසැරි ඇරඹීම සඳහා ඇමරිකාවේ ෆෙඩරල් පියාසැරි පාලනාධිකාරියේ (FAA) අවසරය හිමි ව තිබෙනවා. Joby Aviation නම් කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටා ඇති සමාගමක් මඟින් නිෂ්පාදිත මෙකී යානා 2024 දී එරට ගුවන් හමුදාවටත්, 2025 දී ගුවන් ටැක්සි සේවා සඳහාත් යෙදවීමට නියමිතයි.

සිරස් අක්ෂයට පිහිටා ඇති අවරපෙති හයක් මඟින් ඉහළට නැඟෙන එයට ඉදිරියට පියාසර කිරීමේ දී අවරපෙති මඳක් ඉදිරි පසට ආනත කර පැයට කිලෝමීටර 322ක උපරිම වේගයක් ලබාගත හැකියි. එක් ගුවන් නියමුවෙකු සහ මගීන් සිව් දෙනෙකුගේ ධාරිතාවක් එයට දැරිය හැකියි. යානය ජවය ලබා ගන්නේ විද්‍යුත් කෝෂ මඟින්. එනිසා කාබන් විමෝචනයක් සිදු වන්නේ නැහැ. එහි සුපිරිසිදු බව තීරණය වන්නේ කෝෂ ආරෝපණය කිරීමට ලබා ගන්නා විදුලිය උත්පාදනය වන ආකාරය අනුවයි.

FAA මඟින් ලත් නවතම අනුමැතිය Joby Aviation වෙත හිමි වූයේ එහි නිෂ්පාදනය වූ මුල් ම යානය පරීක්ෂණ පියාසර කරවීමටයි. මින් පෙර FAA අනුමැතිය හිමි ව තිබුණේ සමාගම මඟින් සැලසුම් කළ මූලාකෘති යානා සඳහා පරීක්ෂණ පියාසැරි සිදු කරීමටයි. ඒ අනුව මෙය පියවරක් ඉදිරියට තැබීමක්. Joby හට වාණිජමය අරමුණක් සහිත ව මුදල් අය කරමින් මගීන් ප්‍රවාහනය කළ හැකි සේ ප්‍රමිතිය සහතික කිරීමට තවත් වසරකට වඩා කල් ගත වනු ඇති බවයි සඳහන් වන්නේ.

New Scientist ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Related posts

අඳුරු ශක්තියේ අබිරහස විසඳීමට මුල් විශ්වයේ ඇති හයිඩ්‍රජන් ආලෝකය උපකාරී වෙයි

සඳ මත භූගත ගුහා සොයන NASA ආයතනයේ නවතම මෙහෙයුම

න්‍යෂ්ටික යුද්ධ සහ කෘත්‍රිම බුද්ධියේ අනිසි භාවිතය නිසා 2100 වන විට මානව වර්ගයා නෂ්ට වීමට ඉඩ ඇති බවට අනතුරු ඇඟවීමක්