අභ්‍යවකාශයෙන් ඇදී ආ ‘පූස් වීඩියෝව’

මුලින් ම අභ්‍යවකාශගත වූ පූසා ලෙස හැඳින්වෙන්නේ ප්‍රංශයේ උපන් Félicette නම් බළලායි. කොහොම නමුත් මේ ඔබට කියන්නට යන්නේ Félicette ගැන නො වෙයි. අභ්‍යවකාශයේ සිට පෘථිවියට සම්ප්‍රේෂණය වූ පළමු ‘පූස් වීඩියෝව’ පිළිබඳ ව යි.

NASA ආයතනය පසුගිය දෙසැම්බර් 11 වැනි දා පෘථිවියට කිලෝමීටර මිලියන 19ක් දුරින් පෘථිවියෙන් ඉවතට ඇදී යමින් සිටින Psyche යානයේ සිට පෘථිවිය වෙතට ම අධිවිභේදන දත්ත ප්‍රවාහයක් සම්ප්‍රේෂණය කරගත්තා. තත්පර 15 ධාවන කාලයකින් යුතු වූ ultra-HD වීඩියෝ පටයක් වූ එහි ඇතුළත් වූයේ Taters නම් වූ තැඹිලි පැහැති බළලෙකු ලේසර් ආලෝක තිතක් ලුහුබඳිමින් සෙල්ලම් කරන දර්ශනයි. Taters, NASA ආයතනයට අයත් ජෙට් ප්‍රචාලන විද්‍යාගාරයේ සේවයේ නියුතු අයෙකුගේ සුරතලෙක්.

Tatersගේ දර්ශන ඇතුළත් කෙටි වීඩියෝව සැබවින් ම මෙසේ අභ්‍යවකාශයේ සිට යළි පෘථිවිය වෙත එවාගනු ලැබුණේ ගැඹුරු අභ්‍යවකාශයේ සිට පෘථිවිය හා වීඩියෝ සබඳතා පවත්වා ගැනීම සම්බන්ධ NASA ආයතනයේ අත්හදා බැලීම් මාලාවක මූලික පියවරක් වශයෙනුයි. අඟහරු ජයගැනීම සඳහා එවැනි සබඳතාවයක ඇති වැදගත්කම පෙනී ගොස් තිබෙනවා. ගැඹුරු අභ්‍යවකාශ සන්නිවේදනයේ සංධිස්ථානයක් වන මේ අවස්ථාව සඳහා ‘මතක හිටින’ වීඩියෝවක් නිර්මාණය කිරීමට NASA විද්‍යාඥයන් පෙළඹී තිබුණේ ඒ නිසායි.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 

Related posts

රතු වාමන තරු ග්‍රහලෝක ගිල දමන බවට සාක්ෂි හමුවෙයි

Blue Origin සමාගමේ New Glenn රොකට්ටුව පූර්ව දියත් කිරීමේ පරීක්ෂණයක් අතරතුර පිපිරී යයි

Moon Base I මෙහෙයුම ජෙෆ් බෙසෝස්ගේ Blue Origin සමාගමට