Home Science News ප්‍රථම වරට Neuralink චිපයක් මිනිස් මොළයකට බද්ධ කෙරේ

ප්‍රථම වරට Neuralink චිපයක් මිනිස් මොළයකට බද්ධ කෙරේ

by Sathya

Neuralink සමාගම සිය චිපය මුල් වතාවට සාර්ථක ලෙස මිනිසෙකුගේ මොළයට බද්ධ කළ බව එහි නිර්මාතෘ වන බිලියනපති ව්‍යවසායක ඊලෝන් මස්ක් ඊයේ නිවේදනය කළා. ඔහුට ම අයත් X (කලකට ඉහත twitter) ඔස්සේ පණිවුඩයක් තබමින් ඔහු සඳහන් කර තිබුණේ සැත්කමින් පසු රෝගියා සුව අතට හැරෙමින් සිටින බවයි.

එක්සත් ජනපද ආහාර සහ ඖෂධ අධිකාරිය (FDA) විසින්, මින් පෙර ප්‍රයිමේටාවුන් සඳහා අත්හදා බලමින් සිටි Neuralink චිපය මිනිසුන් හට බද්ධ කරමින් අත්හදා බැලීමට අවසර ලබා දුන්නේ ඉකුත් සැප්තැම්බර් මාසයේ දී යි.

සමාගමේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ ඔවුන් විසින් නිෂ්පාදිත රැහැන් රහිත චිපයක ස්වරූපයෙන් යුතු මොළයේ තැන්පත් කෙරෙන කුඩා පරිගණකය ආධාරයෙන් විවිධ රෝගාබාධවලට ලක් ව සිටින රෝගීන් හට සිතිවිලි මඟින් විවිධ උපාංග හැසිරවිය හැකි වටපිටාවක් නිර්මාණය කිරීමයි. සමාගමේ නිල වෙබ් අඩවිය‌ට අනුව quadriplegia රෝග තත්ත්වයන්ට යටත් ව සිටින රෝගීන් සඳහා එය විශේෂයි.

සිය X පණිවුඩයට ලැබුණු කමෙන්ටුවකට ප්‍රතිචාර දක්වමින් මස්ක් සඳහන් කර තිබුණේ අන්ධ භාවයට පත් අයට යළි පෙනුම ලබා දිය හැකි Blindsight නම් නිෂ්පාදනයක් පිළිබඳ ව ද Neurolink සමාගම කටයුතු කරමින් සිටින බවයි.

ලන්ඩනයේ කිංග්ස් කොලේජ්හි ක්‍රියාකාරී අධිරෝපණ වෛද්‍ය උපාංග පිළිබඳ මහාචාර්යවරියක වන Anne Vanhoestenberghe සඳහන් කරන්නේ Neuralink සමාගම ඊයේ සාර්ථක ව කළ සැත්කම ඔවුන්ගේ ඉලක්කය වෙත යන ගමනේ සංධිස්ථානයක් වනු ඇති බවයි. “මම හිතනවා Neuralink තමන්ගේ පද්ධතිය සහ සහභාගී වූ තැනැත්තා අතර පුහුණු කිරීමේ කටයුතු ආරම්භ කිරීමට පෙර ඔහු යථා තත්ත්වයට පත් වන තුරු නිසි කාලය ලබා දේ වි කියා. අපි හැමෝම දන්නවා නෙ ඊලෝන් මස්ක් තමන්ගෙ සමාගම් ගැන ප්‍රචාරණය කරන්න කැමති කෙනෙක් බව. ඒ නිසා ඔවුන් අත්හදා බැලීම් කටයුතු ආරම්භ කළ සැණින් ඒ බව අපට දැනගන්න පුළුවන් වේ වි. මම හිතන්නේ ඇත්ත ම සාර්ථකත්වය ලැබෙන්නේ දීර්ඝ කාලීන ව බවයි.” ඇය සඳහන් කරනවා.

තම චිපය අත්හදා බැලීම සඳහා යොදාගත් චිම්පන්සීන් කිහිපදෙනෙකුගේ මියයාම සහ එම තොරතුරු වසන් කිරීම පිළිබඳ Neuralink සමාගම වෙත පසුගිය වසරේ නොයෙක් චෝදනා සහ විවේචන එල්ල වී තිබුණා.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications